1යමෙක් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ සොරකම් කොට ඌ මරන්නේ ද නැත්නම් ඌ විකුණන්නේ ද එවිට ඔහු ගොනෙකු වෙනුවට ගොනුන් පස්දෙනෙකු බැගින් ද, බැටළුවෙකු වෙනුවට බැටළුවන් හතරදෙනෙකු බැගින් ද වන්දි ගෙවිය යුතු ය.
2සොරාගත් සතා ඔහු ළඟ පණපිටින් ම සිට සම්බ වුණොත් ඌ ගොනෙක් වේ වා, කොටළුවෙක් වේ වා, බැටළුවෙක් වේ වා, ඔහු දෙගුණයක් ගෙවිය යුතු ය.
3ඔහු සම්පූර්ණ වන්දිය ම ගෙවිය යුතු වේ. එහෙත්, ඔහුට වත්කමක් නැත්නම් සොරකමේ වටිනාකම ගෙවීමට ඔහු විකුණනු ලැබිය යුතු ය. ගෙයක් බිඳින සොරෙකුට පහර දී ඔහු මළොත්,
4පහර දුන් තැනැත්තා වරදකරුවෙක් නොවේ. එහෙත්, ඉර උදා වූ පසු එය, කෙළේ නම් පහර දුන් තැනැත්තා වරදකරුවෙකි.
5යමෙක් කුඹුරක හෝ මිදි වත්තක හෝ තමාගේ මෘගයාට කන්න ඉඩ හරින්නේ නම්, එසේ නැත්නම් ඌ ලිහා දමා තිබිය දී ඌ වෙන අයෙකුගේ කෙතක කන්නේ නම්, ඔහු තමාගේ කුඹුරින් හා මිදි වත්තෙන් ඉස්තරම් කොටසින් අලාභය ගෙවිය යුතු ය.
6ගින්නක් හටගෙන, කටු පඳුරුවලට ඇවිළී ගොයම් කොළ හෝ නොකැපු ගොයම හෝ කුඹුර හෝ එයින් දැවී ගියහොත් ගින්න ගැන වගකිවයුතු තැනැත්තා සම්පූර්ණ අලාභය ගෙවිය යුතු ය.
7යමෙකු මුදල් හෝ බඩු හෝ ප්‍රවේසම පිණිස වෙන කෙනෙකුට බාර දී, ඔහුගේ ගෙයින් ඒවා සොරකම් කරනු ලැබ සොරා අසු වුවහොත් ඔහු දෙගුණයක් අලාභය ගෙවිය යුතුයි.
8සොරා අසු නුවුවහොත්, ගෙහිමියා තම අසල්වැසියාගේ බඩුවලට අත නොගැසූ බවට දෙවියන් වහන්සේ ඉදිරියෙහි දිවුරුම් දිය යුතු ය.
9විශ්වාසය කඩ කිරීමක දී එය ගොනෙකු ගැන හෝ කොටළුවෙකු ගැන හෝ බැටළුවෙකු ගැන හෝ වස්ත්‍ර ගැන හෝ නැති වූ වෙනත් යමක් ගැන හෝ වේ වා, වෙන අයෙක් එය ‘මගේ ය’යි කියා ගනී නම් දෙපක්ෂයේ නඩුව දෙවියන් වහන්සේ වෙත ගෙන යා යුතු ය. උන් වහන්සේ වරදකරු කියා තීරණය කරන තැනැත්තා අනිත් පක්ෂයට දෙගුණයක් ගෙවිය යුතු ය.
10යමෙකු අන් කෙනෙකුට කොටළුවෙකු හෝ ගොනෙකු හෝ බැටළුවෙකු හෝ වෙනත් මෘගයෙකු හෝ ප්‍රවේසම පිණිස බාර දුන් පසු, ඌ මැරුණොත්, නැත්නම් ඌට තුවාළයක් වුණොත්, එසේත් නැත්නම් කිසිවෙකුට නොපෙනී ඌ සොරා ගනු ලැබුවහොත්,
11ඔහු තම අසල්වැසියාගේ දේපළ සොරා නොගත් බවට සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කරන දිවුරුමකින් දෙදෙනා අතර එය තීරණය කරගත යුතුයි. දේපළ හිමිකරු පාඩුව විඳදරාගත යුතු අතර අසල්වැසියා ඊට අලාභය නොගෙවිය යුතු ය.
12එහෙත්, ඔහුගේ මෘගයා සොරකම් කරනු ලැබුවේ නම් ඔහු අසල්වැසියාට අලාභය ගෙවිය යුතුයි.
13ඌ වන මෘගයන් විසින් කැබලි කොට ඉරාදමනු ලැබුවේ නම් සාක්ෂි පිණිස මළ සතාගේ ඉතිරි කොටස් ගෙනා යුතුයි. එවිට කැබලි කළ මෘගයාගේ අලාභය ඔහු නොගෙවන්නේ ය.
14යමෙකු අන් කෙනෙකුගෙන් මෘගයකු ඉල්ලාගෙන අයිතිකාරයා ඌ ළඟ නොසිටිය දී ඌට තුවාළ වුණොත් නැත්නම් ඌ මැරුණොත් ඔහු අලාභය ගෙවිය යුතු ම ය.
15එහෙත්, මෘගයාගේ අයිතිකරු ළඟ සිටියේ නම් ඔහු අලාභය නොගෙවිය යුතු ය. ඌ කුලියට ගත් මෘගයෙකු නම් ඔහු කුලී මිල ගෙවිය යුතු ය.
16යමෙකු විවාහ ගිවිසුමක් කර නැති කන්‍යාවක පොළඹවා ඈ සමඟ සයනය කළොත් ඔහු දෑවැද්ද දී ඈ සමඟ විවාහ විය යුතු ය.
17එහෙත්, ඇයගේ පියා ඔහුට ඇය විවාහ කර දීමට කොහෙත් ම කැමැති නැත්නම් ඔහු කන්‍යාවකට දිය යුතු මුදලට සම මුදලක් ගෙවිය යුතුයි.
18කොඩිවිනකාර ස්ත්‍රියකට ජීවත් වීමට ඉඩ නොදිය යුතු ය.
19මෘගයෙකු සමඟ මෛථූනයෙහි යෙදෙන්නා මරණයට පත් කළ යුතු ම ය.
20සමිඳාණන් වහන්සේ හැර අන් දෙවිවරුන්ට පුද පූජා කරන තැනැත්තා මරණයට පත් කළ යුතු ය.
21නුඹලා විදේශිකයෙකුට අයුත්තක් වත් හිරිහැරයක් වත් නොකළ යුතු ය. මන්ද, නුඹලා මිසර දේශයෙහි විදේශිකයන් ව සිටි හෙයිනි.
22නුඹලා කණවැන්දුම් ස්ත්‍රියකට වත්, අනාථ දරුවෙකුට වත් හිරිහැර නොකළ යුතු ය.
23නුඹලා ඔවුන්ට හිරිහැර කොට ඔවුන් මට මොරගැසුවොත් මම සැබැවින් ම ඔවුන්ගේ මොරගැසීමට සවන් දෙමි.
24එවිට මගේ උදහස ඇවිළී, මම කඩුවෙන් නුඹලා නසන්නෙමි. නුඹලාගේ භාර්යාවෝ කණවැන්දුම් ස්ත්‍රීහු ද, නුඹලාගේ දරුවෝ අනාථ දරුවෝ ද වන්නෝ ය.
25නුඹලා මගේ සෙනඟ අතර සිටින දිළින්දෙකුට මුදල් ණයට දුන්නොත්, පොළියට මුදල් දෙන අය මෙන් නොහැසිරිය යුතු ය. නුඹලා බලයෙන් පොළියක් ද නොගත යුතු ය.
26නුඹ උගසක් මෙන් යමෙකුගේ වස්ත්‍රය ගන්නෙහි නම් ඉර බැස යාමට පෙර එය ඔහුට ආපසු දිය යුතු ය.
27මන්ද, ඔහුට ඇත්තේ ඒ පොරෝණය පමණක් බැවිනි. ඔහු තමාගේ ඇඟට පොරොවාගන්නේ ඒ වස්ත්‍රය වේ. නැත්නම් ඔහුට නිදාගන්න ඇත්තේ කුමක් ද? ඔහු මට මොරගසන විට මා අනුකම්පා සහගත බැවින් ඔහුට සවන් දෙමි.
28නුඹ, නුඹලාගේ දෙවියන් වහන්සේට පරිභව නොකළ යුතු ය. නුඹලා සෙනඟගේ අධිපතියෙකුට ද සාප නොකළ යුතු ය.
29නුඹ, ධාන්‍යවලින් ද මිදිරසින් ද මට දිය යුතු පඬුරු පුද කිරීමට පමා නොවිය යුතු ය. නුඹලාගේ පුතුන් අතර කුලුඳුලා මට දිය යුතු වේ.
30නුඹලාගේ ගවයන් හා බැටළුවන් සම්බන්ධයෙන් ද එලෙස ම කළ යුතුයි. වහු පැටියා දින හතක් මවු ළඟ සිටි පසු අට වන දින නුඹලා ඌ මට දිය යුතු ය.
31නුඹලා මට ම කැපවූ මනුෂ්‍යයන් විය යුතුයි. තවද, කෙතේ වන මෘගයන් විසින් මරනු ලැබූ සතුන්ගේ මස් නුඹලා නොකෑ යුතු ය. ඒවා බල්ලන්ට දැමිය යුතු ය.”