යෙසායා 41

පෙර මීළඟ
1දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ද්වීපවල හා මුහුදුබඩ වැසියෙනි, මා ඉදිරියේ නිශ්ශබ්ද ව මට සවන් දෙන්න. අධිකරණය ඉදිරියේ නුඹේ නඩුව තබන්න සූදානම් වන්න. කතා කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත. නිවැරදිකරු කවරෙක් දැ යි විනිශ්චය කිරීමට අපි එක් රැස් වමු. 2පෙරදිගින් ජයග්‍රාකයෙකු කැඳවා, දිරි ගන්වා, යන යන තැන ඔහුට ජය අත්පත් කර දුන්නේ කවරෙක් ද? ඔහුට රට රාජ්‍යයන් පාවා දී රජවරුන් ඔහුට යටත් කර දුන්නේ කවරෙක් ද? ඔහු සිය කඩුවෙන් ඔවුන් ධූලි බවටත්, සිය දුන්නෙන් ඔවුන් සුළඟට ගසා යන පිදුරු බවටත් පමුණුවන්නේ ය. 3ඔහු, කිසිවකු පා නොතැබූ මාවත්වල ඔවුන් ලුහුබැඳ සුරැකි ව ඉදිරියට යන්නේ ය. 4මුල සිට ම ඉතිහාසය යන මාර්ගය නියම කොට මේ සියල්ල සිදු වන්න සැලසුවේ කවරෙක් ද? සමිඳාණන් වන මම ය. ආරම්භයත්, අවසානයත් වන සමිඳාණෝ මම ය. 5මා කර ඇති දේ දැක ද්වීප හා මුහුදුබඩ වාසීහු බියෙන් වෙවුළුවෝ ය. ඒ නිසා ඔව්හු එක් රැස් වූ හ. 6එක එකා තම තමාගේ අසල්වැසියාට උපකාර කොට, තම තමාගේ සහෝදරයන්ට ‘ධෛර්යවත් වන්නැ’යි කියති. 7කම්කරුවා රන්කරුවාට ද මිටියෙන් පිළිමය මට්ටම් කරන්නා කිණිහිරය පිට තළන්නාට ද ධෛර්යය දෙන්නෝ ය. ‘පෑස්සීම හොඳ ය’යි කෙනෙක් කියති. ඔව්හු පිළිමය නොසෙල්වෙන සේ ඇණවලින් සවි කරති. 8එහෙත්, මාගේ සේවකයා වන ඉශ්රායෙල් ජාතිය, මාගේ මිත්‍රයා වූ ආබ්‍රහම්ගෙන් පැවත එන නුඹ මා තෝරාගත් සෙනඟක් ය. 9පොළොවේ කෙළවරින් මම නුඹ ගෙනාවෙමි. එහි සීමාවලින් නුඹ කැඳවා, ‘නුඹ මාගේ සේවකයා ය’යි මම කීවෙමි. මම නුඹ ප්‍රතික්ෂේප නොකෙළෙමි. නුඹ තෝරාගත්තෙමි. 10බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි. 11නුඹ සමඟ වෛර ව සිටි සියල්ලෝ ලජ්ජා වී වියවුල් වන්නෝ ය. නුඹට විරුද්ධ වන්නෝ නැති නාස්ති වී විනාශ වන්නෝ ය. 12නුඹ සමඟ විවාදයට එළඹෙන මනුෂ්‍යයෙකු නුඹ සොයන නමුත්, ඔවුන් හමු වන්නේ නැත. නුඹ සමඟ යුද්ධ කරන්නෝ විනාශ වී පොළොවෙන් අතුරුදහන් වන්නෝ ය. 13මම නුඹේ දෙවිඳාණෝ ය, ‘බිය නොවන්න, නුඹට පිහිට වන්නෙමි’යි කියමින් මම නුඹ ශක්තිමත් කරන්නෙමි.” 14සමිඳාණෝ නුඹේ දකුණත අල්ලාගනිමින් මෙසේ වදාරන සේක: ”ඉශ්රායෙල්වරුනි, පණුවෙකු වැනි නුඹලා කුඩා ව, දුර්වල ව සිටියත් බිය නොවන්න. මම නුඹලාට පිහිට වන්නෙමි. නුඹලා ගළවාගන්න, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණෝ මම ය. 15මම නුඹලා මුවහත්, අලුත් දැති ඇති මඬින යන්ත්‍රයක් මෙන් කරන්නෙමි. නුඹලා කඳු මැඬ, පොඩිකර, හෙල් බොල් වී මෙන් කරන්නහු ය. 16නුඹලා ඒවා පොළන්නහු ය. එවිට ඒවා, සුළඟට ගසාගෙන යන්නේ ය. සුළි සුළඟින් විසිරී යන්නේ ය. එහෙත්, මම නුඹලාගේ දෙවිඳාණන් වන බැවින් නුඹලා ප්‍රීති වන්නහු ය. ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණන් වන මට නුඹලා ප්‍රශංසා කරන්නහු ය. 17අසරණ දිළිඳු අය වතුර සොයා එය නො ලැබ, උගුර කට වේළී පිපාසයෙන් සිටින විට සමිඳාණන් වන මම ඔවුන්ගේ යැදුම්වලට පිළිතුරු දෙන්නෙමි. ඉශ්රායෙල්හි දෙවිඳාණන් වන මම ඔවුන් අත්නාරින්නෙමි. 18මම මුඩු කඳු මුදුන්වල ගංගා ගලා යන්න ද මිටියාවත් මැද උල්පත් ඇති වන්න ද සලස්වන්නෙමි. කාන්තාරය මැද දිය පොකුණක් ද වියළි දේශයෙන් උල්පත් ද ඇති කරන්නෙමි. 19මම කාන්තාරයෙහි කිහිරි, ෂිටිම්, මරඳ හා ඔලීව හටගන්වන්නෙමි. වනයෙහි දේවදාර, හල් හා සයිප්‍රස් එකට හටගන්වන්නෙමි. 20සෙනඟ මෙය දැක, සමිඳුන් වන මා එය කළ බව දැනගන්නෝ ය. ඉශ්රායෙල්හි සුවිශුද්ධ දෙවිඳුන් මේ දේ සිදු කළ බව ඔව්හු තේරුම් ගන්නෝ ය.” 21ඉශ්රායෙල්හි නිරිඳාණන් වන සමිඳාණෝ මෙසේ වදාරන සේක: ”ජාතීන්ගේ දෙවිවරුනි, නුඹලාගේ නඩුව ඉදිරිපත් කරන්න. නුඹලාගේ බලවත් තර්කයන් ගෙනහැර පාන්න. 22මෙහි පැමිණ සිදුවන්න යන දේ ගැන අපට කියන්න. ඒවා සිදු වූ විට අපට දැනගන්න පුළුවන. සිතා බලන පිණිස පසු ගිය දේවල තේරුම අපට කියා දෙන්න. 23මතු සිදු වන්න යන දේවල් අපට ප්‍රකාශ කරන්න. එවිට නුඹලා දෙවිවරුන් බව අපට දැනගන්න ලැබෙනු ඇත. අප බිය වී තැතිගන්න පිණිස හොඳක් හෝ නපුරක් හෝ අපට කරන්න. 24එහෙත්, නුඹලා නිකම්මු ය; නුඹලාගේ ක්‍රියා බොල් ය. නුඹලා පිළිගන්නෝ පිළිකුලට පත්වෙති. 25මම නැගෙනහිරෙන් කෙනෙකු තෝරාගතිමි. පහර දෙන පිණිස උතුරේ සිට මම ඔහු ගෙන එන්නෙමි. කුම්භකාරයා මැටි පාගන්නාක් මෙන් ඔහු මැටි මෙන් පාලකයන් මැඬදමනු ඇත. 26අප දැනගන්නා පිණිසත්, ‘නුඹ හරි ය’යි කියන්න පුළුවන් වන පිණිසත්, නුඹලා අතරෙන්, ‘මෙසේ සිදු වේ ය’ කියා කල් මත්තෙන් කීවේ කවරෙක් ද? නුඹලාගෙන් කිසිවෙක් ඒ ගැන වචනයක් වත් නොකීවේ ය. නුඹලා කී දෙයක් ඇසූ කෙනෙක් වත් නැත. 27සියොන්ට සුබ ආරංචිය පළමු වරට ප්‍රකාශ කෙළේ මම ය. ‘නුඹලාගේ සෙනඟ එති, ඔව්හු ගෙදර එති’යි ප්‍රකාශ කරන පිණිස ජෙරුසලමට දූතයෙකු යැව්වේ මම ය. 28දෙවිවරුන් අතරේ මා සෝදිසි කළ විට ඔවුන්ගෙන් කිසිවෙකුට කියන්න දෙයක් නුවූ බව මට පෙනුණේ ය. මා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔවුන්ගෙන් කිසිවෙකුට නොහැකි විය. 29මේ දෙවිවරුන් සියලු දෙනාගෙන් වැඩක් නැත. ඔවුන්ට කිසිවක් කළ නොහැකි ය. ඔවුන්ගේ පිළිම හිස් රූකඩ ය.”