දානියෙල් 1

පෙර මීළඟ
1 2 3
1හනනියා, මිෂායෙල් හා අසරියා යන තරුණයන් තිදෙන ගිනි ජාලාව මැද ඇවිදිමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් සමිඳාණන් වහන්සේට තුති ගී ගැයූහ. 2අසරියා ගින්න මැද සිටගෙන මේ පිළිවෙළට යාච්ඤා කෙළේ ය. 3සමිඳුනි, අප මුතුන්මිත්තන්ගේ දෙවිඳුනි, ඔබට සකල ගෞරවය ද තුති පැසසුම ද අත් වේ වා! ඔබගේ නාමය සදා මහිමාන්විත වේ වා! 4ඔබ කළ සියල්ලෙහි ඔබගේ සාධාරණකම පැහැදිලි ය. ඔබගේ පොරොන්දු නිතර ඔබ විශ්වාසී ව ඉටු කරන සේක. ඔබගේ මාවත් කිසිදු ඇද නැත, ඔබගේ විනිශ්චයන් නිරතුරු සත්‍ය ය. 5අප පිට ද අප පියවරුන්ගේ ශුද්ධ නගරය වන ජෙරුසලම පිට ද ඔබ සාධාරණ තීන්දුව දුන් සේක. මෙලෙස ඔබ අප කෙරෙහි ක්‍රියා කෙළේ අපගේ පව් නිසා ය. සාධාරණ ලෙස සුදුසු ලෙස ඔබ ක්‍රියා කර ඇත. 6එසේ ය, අපි පව් කෙළෙමු. ඔබ අත්හැරීමෙන් අපරාධ කෙළෙමු. එසේ ය, අපි බරපතල ලෙස පව් කෙළෙමු. අපි ඔබේ නීතියේ අණපණත්වලට සවන් නුදුන්නෙමු. 7අපි ඒවා නොපිළිපැද්දෙමු. අපේ යහපත උදෙසා අපට කරන්නට කී දේ අපි නොකෙළෙමු. 8එසේ ය, අප පිට පැමිණෙවු දුක් කරදර අපට කරන ලද සියල්ල ඔබ කෙළේ යුක්ති සහගත ව ය. 9පවිටුන්ගෙන් අන්ත වූ ද දාමරික සෙනඟක් මැද මුළු මිහි පිට ඉතා නපුරු වූ ද අසාධාරණ රජෙක් වූ ද අපේ හතුරන්ගේ බලයට ඔබ අප පාවා දුන් සේක. 10අද අපි කට ඇරීමට පවා බිය වෙමු. ඔබට වැඳුම්පිදුම් කරන ඔබ නමදින අයට ලැබෙන්නේ ලජ්ජාව සහ අපකීර්තිය වේ. 11අහෝ ඔබගේ නාමය උදෙසා අපව සදහට ම අත් නොහළ මැනව. ඔබගේ ගිවිසුම ප්‍රතික්ෂේප නොකළ මැනව. 12ඔබගේ මිත්‍රයා වන ආබ්‍රහම් නිසා ද ඔබගේ සේවකයා වන ඊසාක් නිසා ද ඔබගේ ශුද්ධ ජනයා වන ඉශ්රායෙල්වරුන් නිසා ද ඔබගේ කරුණාව අප වෙතින් ඉවත් නොකළ මැනව. 13අහසේ තාරකා මෙන් ද මුහුදු වෙරළේ වැලි ඇට මෙන් ද ගණන් නොකළ හැකි පෙළපතක් පෙර කී අයට දීමට ඔබ පොරොන්දු වූ සේක. 14සමිඳුනි, අපගේ පව් නිසා දැන් අපි සියලු ජාතීන් අතර ඉතා අල්ප ජාතිය වී සිටිමු. ලොව පුරා අපි හෙළා දකිනු ලැබ සිටිමු. 15මෙකල අපට නායකයෙක් නැත. දිවැසිවරයෙක් නැත. රාජකුමාරයෙක් නැත. දවන යාග පූජාවක් නැත. පූජා පඬුරක් නැත. ඔප්පු කිරීමට දෙයක් නැත. සුවඳ දුම් නැත. 16නාඹුල් ඵල ඔබට පුදා ඔබේ ප්‍රසාදය දිනාගැනීමට තැනක් නැත. දවන යාග පූජා සඳහා බැටළුවන් සහ වස්සන් ද 17තර කළ බැටළුපැටවුන් දහස් ගණන් ද පිළිගන්නාක් මෙන් අපගේ මනස්ස්ථාපනය වූ සහ බැහැපත් හද ඔබ පිළිගන්න සේක් වා! අද අපේ පුද පූජා එසේ පිළිගනු ලැබේ වා! ඔබ කෙරෙහි බලාපොරොත්තුව තබන අයගේ බලාපොරොත්තු ඉටු නොවී නොයන බැවින් අප මුළු සිත යොදා ඔබ අනුගමනය කිරීම ඔබගේ කැමැත්ත වේ වා! 18ඔබ පසුපස යෑමට ද ඔබට ගරුබිය පෑමට ද ඔබගේ කරුණාව සෙවීමට ද දැන් අපි අපේ මුළු සිත යොදමු. 19අපගේ බලාපොරොත්තුව කඩ නොකළ මැනව. ඔබ කාරුණික සේ ම අපට ද කාරුණික ලෙස සංග්‍රහ කළ මැනව. බහුල ව දයාව පෙන්නුව මැනව. 20සමිඳුනි, ඔබගේ අරුමපුදුම ක්‍රියාවලට ඔබින ලෙස අපට විමුක්තිය දුන මැනව. ඔබගේ නාමය මහිමාන්විත කළ මැනව. 21ඔබගේ සේවකයන්ට හිංසා කරන අය වියවුල් වෙත් වා! ඔවුන් ලජ්ජාවෙන් වැසී ගොස් බලයෙන් පහ කරනු ලැබ ඔවුන්ගේ ශක්තිය හීන වේ වා! 22මුළු පොළෝ තලයට ඉහළින් විරාජමාන ව වැඩ සිටින දෙවි සමිඳුනි, ඔබ පමණක් දෙවිඳුන් හා ස්වාමීන් බව ඔව්හු දැන ගනිත් වා! 23- 24උදුනට මිනිසුන් විසිකළ රාජ සේවකයෝ උදුනෙන් මීටර් විසි පහක් පමණ ඉහළට ගින්න බුර බුරා නඟින තෙක්, ඒ උදුන මොලවමින් ඊට ශුද්ධ නොකරන ලද තෙල් ද, කීල් ද, තඹ ද, කැපූ අතු ද දැමූ හ. 25ඒ ගිනි ජාලාව ද පිටතට අවුත් උදුන වටේට සිටි කල්දිවරුන් මරා දැමී ය. 26එහෙත් ස්වාමීන් වහන්සේගේ දූතයා උදුනට බැස අවුත් අසරියා සහ ඔහුගේ මිතුරන් ළඟ සිට ගෙන ඔවුන්ගෙන් පිටතට ගිනිජාලාව හැරෙව්වේ ය. 27ගින්න මැද සිටි ඔවුන්ට ඔහු පවන් සලමින් සුළඟින් සහ මීදුමෙන් ඇති වන සිසිල් බවක් එහි උදා කෙළේ ය. එබැවින් ඒ ගින්න ඔවුන්ගේ ඇඟට ගෑවුනේ වත් ඔවුන්ට වේදනාවක් සහ කරදරයක් දුන්නේ වත් නැත. 28එවිට, ඒ ගිනි උදුන තුළ සිටි තිදෙන දේව මහිමය වර්ණනා කරමින් ද එතුමන් හට ප්‍රශංසා කරමින් ද මේ වචනවලින් ගී ගයන්නට පටන්ගත් හ. 29සමිඳුනි, අපේ පියවරුන්ගේ දෙවිඳුනි, ඔබ හට පැසසුම් වේ වා! ඔබ වර්ණනා කරනු ලැබ සදහට ම ඔබ උසස් කරනු ලැබේ වා! 30ඔබගේ මහිමාන්විත සුවිශුද්ධ නාමයට පැසසුම් වේ වා! එය වර්ණනා කරනු ලැබ සදහට ම එය උසස් කරනු ලැබේ වා! 31ඔබගේ තේජස් සම්පන්න දෙව්මැදුර තුළ ඔබ හට පැසසුම් වේ වා! ඔබ උසස් කරනු ලැබ සියල්ලට ඉහළින් සදහට ම ඔබ මහිමාන්විත කරනු ලැබේ වා! 32ඔබගේ රාජ්‍යයේ සිහසුන අරා සිටින ඔබ හට පැසසුම් වේ වා! ඔබ වර්ණනා කරනු ලැබ සියල්ලට ඉහළින් සදහට ම ඔබ උසස් කරනු ලැබේ වා! 33කෙරුබිම්වරුන්ට ඉහළින් වැඩ සිටින සහ සමුදුර මනින ඔබ හට පැසසුම් වේ වා! ඔබ වර්ණනා කරනු ලැබ සියල්ලට ඉහළින් සදහට ම ඔබ මහිමාන්විත වේ වා! 34අහස් කුසයෙහි සිටින ඔබ හට පැසසුම් වේ වා! ඔබ උසස් කරනු ලැබ සියල්ලට ඉහළින් සදහට මහිමාන්විත වේ වා! 35සමිඳුන් මැවූ සියල්ලෙනි, සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 36සමිඳුන්ගේ සුරදූතයෙනි, ඔබ සියලු දෙන සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 37අහස් තලයෙනි, සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 38අහසට ඉහළින් ඇති ජලාශයෙනි, සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 39සමිඳුන්ගේ බලතාවයෙනි, ඔබ සියලු දෙන සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 40ඉර හඳ, සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 41අහසේ තාරකාවෙනි, සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 42වර්ෂාවෙනි, පින්නෙනි, ඔබ සියල්ල සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 43සුළඟෙනි, ඔබ සියල්ල සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 44ගින්න සහ උෂ්ණය, සමිඳුන් පසසන්න. සදා මහිමයත් ස්තුතියත් එතුමන් හට පුදන්න. 45සීතල සහ උෂ්ණය, සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 46පින්න සහ හිම වැස්සෙනි, සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 47තුෂාරය සහ සීතලය, සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 48මිදි දියකැට සහ හිමකැට, සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 49දිවා සහ රාත්‍රිය, සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 50ආලෝකය සහ අඳුර, සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 51විදුලිය සහ වලාකුළු, සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 52මිහිතලය, සමිඳුන් හට පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 53කඳු සහ හෙල්, සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 54මිහි පිට වැඩෙන සියල්ලනි, සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 55ජල උල්පතෙනි, සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 56මුහුදු සහ ගංගාවෙනි, සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 57මූදු සතුනි, ජලජ සතුනි, සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 58අහස් පක්ෂියෙනි, සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 59වන සතුනි, හීලෑ සතුනි, සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 60මනුෂ්‍ය පුත්‍රයිනි, සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 61ඉශ්රායෙල්වරුනි, සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 62පූජකවරුනි, සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 63සමිඳුන්ගේ සේවකයිනි, සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 64අධ්‍යාත්මයෙනි, දැහැමියෙනි, සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 65බැතිමතුනි, බැහැපත් සිත් ඇත්තෙනි, සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 66හනනියා, අසරියා සහ මිෂායෙල්, සමිඳුන් පසසන්න. මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. මන්ද එතුමාණෝ පාතාලයෙන් අප පැහැරගත් සේක. මරණයෙන් අප මුදාගත් සේක. ගිනි උදුනෙන් අප ගළවාගත් සේක. ගිනිදළු මැදින් අප බේරාගත් සේක. 67සමිඳුන් හට තුති පැසසුම් කරන්න: මන්ද එතුමාණෝ යහපත් ය, එතුමන්ගේ ප්‍රේමය සදාතන ය. 68එතුමන් නමදින සියල්ලෙනි, දේවාතිදෙවිඳුන් පසසන්න. එතුමන් වර්ණනා කර එතුමන්ට තුති පුදන්න. මන්ද එතුමන්ගේ ප්‍රේමය සදාතන ය.