හොසියා 8

පෙර මීළඟ
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
1හොරණෑව පිඹින්න; මන්ද, රාජාලියෙකු මෙන් සතුරෝ සමිඳාණන් වහන්සේගේ ගෘහය පිට පැමිණෙන්නෝ ය. මාගේ සෙනඟ මාගේ ගිවිසුම කඩ කර, මාගේ ආඥාවලට විරුද්ධ ව කැරලිගැසූ හ. 2‘ඔබ අපේ දෙවියන් වහන්සේ ය, අපි ඔබ හඳුනමු’ කියා ඉශ්රායෙල් මොරගසති. 3එහෙත්, ඔවුන් යහපත එපා කර ඇත. එබැවින් සතුරෝ ඔවුන් ලුහුබැඳ යති. 4ඔව්හු මාගේ කැමැත්ත නැති ව රජවරුන් තෝරාගත්හ; මාගේ අනුමැතිය නැති ව අධිපතීන් පත් කළහ; ඔවුන්ගේ විනාශයට හේතු වන දේව පිළිම ඔවුන්ගේ රන් රිදීයෙන් තනාගත්හ. 5සමාරියේ වැසියෙනි, නුඹලා නමස්කාර කළ රන් වස්සා මම ප්‍රතික්ෂේප කෙළෙමි. ඔවුන්ට විරුද්ධ ව මාගේ උදහස ඇවිළී ඇත. ඔවුන් නිදොස් මඟට පැමිණෙන්න කොපමණ කල් ගත වේ ද? 6ඒ රන් වස්සා සෑදුවේ ඉශ්රායෙල් කම්කරුවෙක් ය. එය දෙවියෝ නොවෙති. සමාරියයන් නමස්කාර කරන ඒ වහු පිළිමය මම කැබලි කර දමමි. 7ඔව්හු සුළඟ වපුරා, සුළි සුළඟ කපාගනිති; ගොයම් කරල් නැත, කරල් තිබුණත් විදේශීන් ඒවා ගිලදමනු ඇත. 8ඉශ්රායෙලය ගිල ගනු ලැබී ය; දැනට ම අන්‍ය ජාතීහු ඔවුන් පලක් නැති බඳුනක් සේ සලකති. 9රැළෙන් වෙන්‍ වූ වල් කොටළුවෙකු සේ ඔවුන් අසිරියාවට ගොස් ඇත. එප්‍රායිම් ජාතිය පෙම්වතුන් කුලියට ගන්න පිණිස අන්‍ය ජාතීන්ට මුදල් ගෙවා ඇත. 10ඔවුන් ජාතීන් අතරෙන් ජනයා කුලියට ගන්න නමුත්, දැන් මම ඔවුන් එක්රැස් කොට ඔවුන්ට දඬුවම් කරමි. අසිරියාවේ රජු නොපමා ව ඔවුන්ට පීඩා කරන විට ඔව්හු වේදනාවෙන්‍ මිරිකී යන්නෝ ය. 11එප්‍රායිම් සෙනඟ පව් කිරීම සඳහා වැඩි වැඩියෙන් පූජාසන තනාගෙන ඇත. වැඩි වැඩියෙන් පව් කිරීමට ඒවා හේතු වී තිබේ. 12සෙනඟ උදෙසා මාගේ ආඥා දසදහස් ගණන් මා ලියා දුන්නත් ඔව්හු ඒවා බාහිර දේවල් සේ ප්‍රතික්ෂේප කළහ. 13මාංස පූජා කිරීමටත්, පූජා කරන මස් කෑමටත් ඔව්හු කැමැති ය. එහෙත්, සමිඳාණෝ එය ප්‍රිය නොකරන සේක. දැන් උන් වහන්සේ ඔවුන්ගේ අයුතුකම් සිහි කොට, ඔවුන්ගේ පාපවලට නිසි දඬුවම් දෙන සේක. ඔවුන් ආපසු මිසර දේශයට යනු ඇත. 14ඉශ්රායෙල් දේශයේ සෙනඟ ඔවුන්ගේ මැවුම්කාරයාණන් අමතක කර, තමන්ට මාලිගා තනාගත්හ. ජුදා දේශයේ සෙනඟ සුරක්ෂිත වන පිණිස බලකොටු නගර වැඩි වැඩියෙන් තනාගත්හ. එවිට සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ ඒ නගර පිට ගින්නක් එවන සේක, එයින් එහි මාලිගා දැවී වැනසෙනු ඇත.”