සෙකරියා 4

පෙර මීළඟ
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
1මා සමඟ කතා කළ දේව දූතයා නැවත අවුත්, නින්දෙන් පුබුදු කරනු ලබන්නෙකු මෙන් මා පුබුදුවා, 2නුඹට කුමක් පෙනේ දැ”යි මාගෙන් ඇසී ය. මම පිළිතුරු දෙමින්, ”මුළුමනින් ම ස්වර්ණමය වූ පහන් රුකක් මට පෙනෙයි. එහි මුදුනේ පහන් සතකින් යුත් තෙල් දැමිය යුතු භාජනයක් ඇත. එහි මුදුනේ එක එක පහනේ තිරවලට නළ සතක් ඇත. 3ඒ ළඟ ඔලීව ගස් දෙකක් ඇත. එකක් වම් පැත්තෙන් ද අනික දකුණු පැත්තෙන් ද වේ ය”යි කීවෙමි. 4මාගේ ස්වාමීනි, මේවායෙහි තේරුම කුමක් දැ”යි මම දේව දූතයාගෙන් යළි ඇසීමි. 5නුඹ දන්නේ නැද්දැ”යි ඔහු ඇසී ය. ”නැත, ස්වාමීනි”යි මම පිළිතුරු දිනිමි. 6එකල දේව දූතයා මට කතා කරමින්, ”සෙරුබ්බාබෙල්ට සමිඳාණන් වහන්සේගේ මේ පණිවුඩය දෙන්නැ”යි කී ය. එය මෙසේ ය: ”නුඹට ජය අත් වන්නේ සේනා බලයෙන් වත්, සිය ශක්තියෙන් වත් නොව, මාගේ ආත්මානුභාවයෙන් ය. 7විශාල කන්දක් වුවත් නුඹ ඉදිරියේ සමතලා වන්නේ ය. දේව මාලිගාව නැවත ගොඩනඟා, ‘කදිම ය, කදිම ය’ කියා කෑගසන අතර එහි මුල් ගල නුඹ තබන්නෙහි ය.” 8සමිඳාණන් වහන්සේගෙන් තවත් පණිවුඩයක් මා වෙත පැමිණියේ ය. 9එය මෙසේ ය: ”සෙරුබ්බාබෙල් දේව මාලිගාවේ අත්තිවාරම් දමා ඇත. ඔහු ම ගොඩනැඟිල්ල නිම කරනු ඇත. මෙය සිදු වූ විට මාගේ සෙනඟ වෙත මා නුඹ යැවූ බව ඔවුන් දැනගනු ඇත. 10කුඩා පටන්ගැන්ම හෙළා දකින්නට යමෙක් වේ ද? ගොඩනැඟිල්ලේ කටයුතු පමා ව ඇති නිසා ඔව්හු කලකිරී සිටිති. ඔව්හු සෙරුබ්බාබෙල්ගේ අතේ මුල් ගල ඇති බව දකින විට ප්‍රීති වන්නෝ ය.” 11එවිට මම, ”පහන් රුක දෙපැත්තේ ඇති ඔලීව ගස් දෙකෙන් කුමක් අදහස් කෙරේ දැ”යි ඇසීමි. 12ඔලීව තෙල් ගලා එන රන් නළ දෙක අසල ඇති ඔලීව අතු දෙකෙන් කුමක් අදහස් කෙරේ දැ”යි දෙ වන වරටත් ඇසීමි. 13නුඹ දන්නේ නැද්දැ”යි ඔහු මාගෙන් ඇසී ය. ”නැත, ස්වාමීනි”යි මම පිළිතුරු දිනිමි. 14එවිට ඔහු පිළිතුරු දෙමින්, ”මේ දෙකෙන් අදහස් කරන්නේ මුළු පො‍ළොවේ සමිඳාණන් වහන්සේට සේවය කරන පිණිස දෙවියන් වහන්සේ විසින් තෝරාගෙන අභිෂේක කරන ලද දෙදෙනා ය”යි කී ය.