සාමුවෙල්ගේ පළමු වන පොත 16

පෙර මීළඟ
1සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, ”නුඹ කොපමණ කල් සාවුල් ගැන ශෝක වන්නෙහි ද, මම ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකම් කිරීමෙන් පහ කෙළෙමි. දැන් නුඹ තෙල් කුලාව පුරවාගෙන බෙත්ලෙහෙමෙහි සිටින ජෙස්සේ නම් තැනැත්තා වෙත යන්න. මන්ද, ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මම තෝරාගත්තෙමි”යි වදාළ සේක. 2සාමුවෙල් පිළිතුරු දෙමින්, ”මා එසේ කරන්නේ කොහොම ද? එය සාවුල්ට සැළ වුණොත් ඔහු මා මරනු ඇතැ”යි කී ය. සමිඳාණන් වහන්සේ ද පිළිතුරු දෙමින්, ”නුඹ වැස්සියක ගෙන ‘සමිඳාණන් වහන්සේට පූජා කරන පිණිස ආවෙමි’යි කියන්න. 3ජෙස්සේ ද ඒ පූජාවට කැඳවන්න. එවිට නුඹ විසින් කරනු ලැබිය යුතු දේ මම නුඹට පෙන්වන්නෙමි. මා නුඹට කියන තැනැත්තා රජු වශයෙන් නුඹ අභිෂේක කළ යුතු ය”යි වදාළ සේක. 4සාමුවෙල් සමිඳාණන් වහන්සේ වදාළ දේ කරමින්, බෙත්ලෙහෙමට පැමිණියේ ය. එවිට නගරයේ ප්‍රජා මූලිකයෝ වෙවුලමින් ඔහු හමු වන්නට අවුත්, ”ඔබ එන්නේ සාමදානයෙන් දැ”යි ඇසූ හ. 5සාමුවෙල් පිළිතුරු දෙමින්, ”සාමදානයෙන් ය; සමිඳාණන් වහන්සේට පූජා කරන්නට ආවෙමි; ඔබ හැම පවිත්‍ර වී මා සමඟ පූජාවට එන්නැ”යි කීවේ ය. සාමුවෙල්, ජෙස්සේ ද ඔහුගේ පුත්‍රයන් ද පවිත්‍ර කොට පූජාවට කැඳෙව්වේ ය. 6ඔවුන් පැමිණි කල සාමුවෙල් එලියාබ් දෙස බලා, ”සැබැවින් ම සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තේ උන් වහන්සේ ඉදිරියෙහි සිටී”යි තමන්ට ම කියාගත්තේ ය. 7එහෙත්, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, ”ඔහුගේ පෙනීම දෙස වත්, ශරීරයේ උස මහත දෙස වත් නොබලන්න; මන්ද, මම ඔහු ප්‍රතික්ෂේප කෙළෙමි. සමිඳාණන් වහන්සේ මිනිසා බලන්නාක් මෙන් නොබලන සේක. මිනිසා බලන්නේ බාහිර පෙනීම දෙස ය. එහෙත්, සමිඳාණන් වහන්සේ බලන්නේ සිත දෙස ය”යි වදාළ සේක. 8එවිට ජෙස්සේ අබිනාදාබ්ට හඬගසා සාමුවෙල් ඉදිරිපිටට එන්නට සැලැස්වී ය. ”මොහු වත් සමිඳාණන් වහන්සේ තෝරා නොගත් සේකැ”යි සාමුවෙල් කී ය. 9එවිට ජෙස්සේ ෂම්මා ඔහු ඉදිරිපිටින් එන්නට සැලැස්විය. ”මොහු වත් සමිඳාණන් වහන්සේ තෝරා නොගත් සේකැ”යි සාමුවෙල් කී ය. 10මෙසේ ජෙස්සේ තමාගේ පුත්‍රයන්ගෙන් සත්දෙනෙකු සාමුවෙල් ඉදිරිපිටට එන්නට සැලැස්සුවේ ය. සාමුවෙල් ද, ”මොවුන් එක් කෙනෙකු වත් සමිඳාණන් වහන්සේ තෝරා නොගත් සේකැ”යි ජෙස්සේට කී ය. 11එසේ කියා සාමුවෙල්, ”ඔබේ පුත්‍රයෝ හැම දෙනා ම මෙහි සිටිත් දැ”යි ජෙස්සේගෙන් ඇසී ය. ජෙස්සේ පිළිතුරු දෙමින්, ”තව ඉතිරි ව සිටින්නේ බාලයා ය; ඔහු බැටළුවන් බලාගෙන සිටිනවා ය”යි කී ය. සාමුවෙල් ද, ”පණිවුඩකාරයෙකු යවා ඔහු මෙහි ගෙන්වන්න. ඔහු මෙහි එන තුරු අපි පූජාව ඔප්පු නොකරන්නෙමු”යි ජෙස්සේට කී ය. 12එවිට ජෙස්සේ පණිවුඩකාරයෙකු යවා ඔහු ගෙන් වී ය. ඔහු රතු පැහැයක් ද කඩවසම් පෙනුමක් ද දීප්තිමත් නෙත් යුවලක් ද ඇති කෙනෙකි, සමිඳාණන් වහන්සේ කතා කරමින්, ”නැඟිට මොහු අභිෂේක කරන්න; මොහු ඒ තැනැත්තා ය”යි වදාළ සේක. 13එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන ඒ තැනැත්තා ඔහුගේ සහෝදරයන් ඉදිරියෙහි අභිෂේක කෙළේ ය. එදින පටන් සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය දාවිත් කෙරෙහි පිහිටිණි. සාමුවෙල් නැඟිට ආපසු රාමා නගරයට ගියේ ය. 14සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය සාවුල් කෙරෙන් පහ ව ගියේ ය. සමිඳාණන් වහන්සේ එවූ දුෂ්ටාත්මයක් ඔහු කැළඹුවේ ය. 15සාවුල්ගේ සේවකයෝ ඔහුට කතා කොට, ”දෙවියන් වහන්සේ එවූ දුෂ්ටාත්මයක් ඔබ කළඹන්නේ ය. 16ඒ නිසා දක්ෂ වීණාකාරයෙකු සොයන පිණිස අපේ ස්වාමීන්ගේ සේවකයන් වන අපට අණ කළ මැනව. එවිට දෙවියන් වහන්සේ එවන දුෂ්ටාත්මය ඔබට ආවේශ වූ කල, ඔබට සුව සහනය ලැබෙන පිණිස ඔහු වාදනය කරනු ඇතැ”යි කීවෝ ය. 17සාවුල් කතා කොට, ”හොඳට වාදනය කරන මිනිසෙකු සොයා ඔහු මා වෙත ගෙනෙන්නැ”යි සේවකයන්ට කීවේ ය. 18එවිට සේවකයන්ගෙන් එක් කෙනෙක් පිළිතුරු දෙමින්, ”දක්ෂ වාදකයෙකු වන පුත්‍රයෙක් බෙත්ලෙහෙමේ වසන ජෙස්සේට සිටියි. ඔහු නිර්භීත කෙනෙකි; දක්ෂ හේවායෙකි; කතාවෙහි දක්ෂ ය; රූපසම්පන්න ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටින සේකැ”යි කීවේ ය. 19එවිට සාවුල් ජෙස්සේ වෙත පණිවුඩකාරයන් යවමින්, ”බැටළුවන් සමඟ සිටින ඔබේ පුත්‍රයා වන දාවිත් මා ළඟට එවන්නැ”යි කියා යැවී ය. 20එවිට ජෙස්සේ රොටි ද මිදියුස භාජනයක් ද කොටළුවෙකු පිට පටවා එළු පැටවෙකු සමඟ ඒවා තමාගේ පුත් දාවිත් අත සාවුල්ට යැව්වේ ය. 21දාවිත් සාවුල් වෙත අවුත්, ඔහුගේ සේවයට බැඳුණේ ය. සාවුල් ඔහුට ඉතා ප්‍රේම කෙළේ ය. ඔහු සාවුල්ගේ ආයුධ රැගෙන යන්නා විය. 22සාවුල් ජෙස්සේට පණිවුඩයක් යවමින්, ”දාවිත් මට ප්‍රිය මනාප නිසා ඔහු මා සමඟ සිටියාවේ”යි කියා ඇරියේ ය. 23එතැන් පටන් දෙවියන් වහන්සේ සාවුල්ට දුෂ්ටාත්මයක් ආවේශ කළ විට දාවිත් වීණාව රැගෙන වාදනය කෙළේ ය. එයින් සාවුල්ට සුව සහනය ලැබී දුෂ්ටාත්මය ඔහුගෙන් පහ ව ගියේ ය.