තෝබිත් 11

පෙර මීළඟ
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
1ඔවුන් නිනිවය නගරයට ඉදිරිපිටින් පිහිටි කසෙරින් නම් ස්ථානයකට ළඟා වන විට 2රපියල් කතා කොට ”අපි ඔබේ පියා වෙතින් නික්ම එන විට ඔහු සිටි තත්ත්වය ඔබ දන්නෙහි ය. 3ඔබේ බිරිඳට කලින් අපි යමු. අපි ගොස් ඇය අනික් අය සමඟ පසුපස එන තෙක් නිවෙස සූදානම් කරමු”යි කීවේ ය. 4මෙසේ කියා ඔවුන් දෙදෙන එක් ව ගියෝ ය. බල්ලා ද ඔවුන් පසුපස ගමන් කෙළේ ය. මත්ස්‍යයාගේ පිත රැගෙන යාමට රපියල් තෝබියස්ට කලින් දන්වා තිබිණි. 5අන්නා ද වාඩි වී තම පුත්‍රයා එන මාර්ගය දෙස බලා සිටියා ය. 6එන තැනැත්තා ඔහු ම යයි ඇයට සහතික වී ඔහුගේ පියා වෙත ගොස්, ”මෙන්න ඔබේ පුත්‍රයා ඔහුගේ මිත්‍රයා සමඟ එන්නේ ය”යි කීවා ය. 7පියා වෙත යන්නට පෙර රපියල් තෝබියස් අමතා, ”ඔබේ පියාට ඇස් පෙනීම ලැබෙන බව මම සහතික කර කියමි. ඔබ ඔහුගේ ඇස්වලට මත්ස්‍යයාගේ පිත දැමිය යුතු ය. 8මේ බෙහෙත දැවෙන ගතියක් ඇති කර, ඔහුගේ ඇස්වලින් සුදු පැහැති සිහින් සිවිය අහකට ඇද දමනු ඇත. එවිට ඔබේ පියාට ඇස් පෙනුම ලැබී, එළිය දෙස බැලීමට හැකි වනු ඇතැ”යි කීවේ ය. 9මව ඉදිරියට දුව ගොස් සිය පුත්‍රයාගේ ගෙල වටා අත් දමා, ”දැන් මට මියයා හැකි ය. මම නැවත නුඹ දැක්කෙමි”යි කියා හඬන්නට වූවා ය. 10තෝබිත් ද නැඟිට මළුව හරහා දොර මැදින් හැපි හැපී ගමන් කෙළේ ය. තෝබියස් තම අතින් මත්ස්‍යයාගේ පිත රැගෙන ඔහු වෙත ආයේ ය. 11ඔහු පියාගේ ඇස් දෙකට පිඹ, ඔහු ශක්තිමත් කරමින්, ”පියාණෙනි, ධෛර්යවත් ව සිටින්නැ”යි කියා බෙහෙත ගෑවේ ය. ඉන්පසු එය මඳ වේලාවක් එහි තිබෙන්නට හැර, 12ඇස් දෙකේ කොන්වලින් සිහින් සිවියක් දෑතින් ගලවා දැමී ය. 13එවිට ඔහුගේ පියා තම පුත්‍රයාගේ ගෙල බදාගෙන, හඬමින් 14මාගේ පුත්‍රය, මාගේ ඇස් දෙකේ ආලෝකය වන ඔබ මට පෙනේ ය”යි හඬ නඟා කීවේ ය. පසු ව ඔහු තවදුරටත් කතා කොට මෙසේ කී ය: ”දෙවි තුමන්ට පැසසුම් වේ වා! එතුමන්ගේ උදාර නාමයට පැසසුම් වේ වා! එතුමන්ගේ සියලු දේව පුත්‍රයන්ට පැසසුම් වේ වා! සදහට ම එතුමන්ගේ උදාර නාමයට පැසසුම් වේ වා! 15මන්ද, එතුමන් මට කස පහර දී තිබිණි. නමුත් දැන් මට දයානුකම්පාව පා ඇත. මාගේ පුත් රුවන තෝබියස් මම දකිමි.” 16තෝබිත් තම ලේලි හමුවීමට නිනිවයේ වාසල් දොරටු බලා පිටත් විය. මෙසේ යන විට ඔහු දෙවියන්ට ස්තුති ප්‍රශංසා කෙළේ ය. ඔහු මඟ පෙන්වන්නකු නැති ව යන ආකාරය ද, කලින් කළාක් මෙන් කඩිනම් ව පා තබන අයුරු ද නිනිවයෙහි සෙනඟ දුටු විට ඔව්හු පුදුම වූ හ. 17දෙවියන් වහන්සේ තමාට දයානුකම්පාව පෙන්වා ඇස් විවෘත කළ අන්දම තෝබිත් ඔවුන්ට විස්තර කෙළේ ය. එවිට තෝබිත්ට, සිය පුත් තෝබියස්ගේ බිරිඳ වන සාරා මුණගැසී ඇයට ආශීර්වාද කරමින්, ”දුව, ආයුබෝවන්, මාගේ දුව, අප වෙත ඔබ එවීම ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! ඔබේ පියාට ආශීර්වාද වේ වා! මාගේ පුත් තෝබියස්ට ආශීර්වාද වේ වා! මාගේ දුව, ඔබට ද ආශීර්වාද වේ වා! ප්‍රීතියෙන් සහ ආශීර්වාද ලබමින් දැන් ඔබ ඔබේ ම නිවෙසට සැපත් වේ වා! මාගේ දුව එන්න” කියා කීවේ ය. 18එදින ඔහු නිනිවයේ සිටි ජුදා ජාතික සියලු දෙනාට මංගල්‍යයක් පැවැත්විය. ඔහුගේ නෑයන් වූ අහිකාර් ද නාදබ් ද තෝබිත්ගේ ප්‍රීතියට සහභාගි වීමට පැමිණියෝ ය.