1එවිට තෝබියස් රපියල් වෙත හැරී,
2සොහොයුරු අසරියස්, ඔබ සේවකයන් සතර දෙනකු ද, ඔටුවන් දෙදෙනෙකු ද රැගෙන රාගේස් නගරයට පිටත් ව යන්න.
3ගබයෙල්ගේ නිවෙසට ගොස් කුවිතාන්සිය ඔහුට දී, මුදල් ගැන සලකා බලන්න. ඉන්පසු මගේ විවාහ මංගල්‍යයට ඔබ සමඟ ඔහුට එන්නට ආරාධනා කරන්න.
4මගේ පියා දවස් ගණන් කරමින් සිටින බව ද ඔහුට කරදර නො දී නැවතීමට එක දවසක් වත් මට බැරි බව ද ඔබ දන්නෙහි ය.
5රගුවෙල් කරන්නට පොරොන්දු වූ දේ ඔබ දන්නෙහි ය. ඔහුගේ දිවිරීමෙන් මම බැඳී සිටිමි”යි කීවේ ය.
6එවිට රපියල් සේවකයන් සතර දෙනා සහ ඔටුවන් දෙදෙනා සමඟ මේදියාවේ රාගේස් නුවරට පිටත් ව ගියේ ය. ඔවුන් ගබයෙල් සමඟ නැවතුන පසු රපියල් ඔහුට කුවිතාන්සිය පෙන්වී ය.
7තවද ඔහු තෝබිත්ගේ පුත්‍ර තෝබියස්ගේ විවාහය ගැන ද ඔහුට දන්වා විවාහ මංගල්‍යයට ඔහුගේ ආරාධනා පත්‍රය ද දුන්නේ ය. ගබයෙල් ගෝනි ප්‍රමාණය ගණන් කරන්නට විය. ඒවායේ මුද්‍රා ද නොකඩා තිබිණි. ඉන්පසු ඔව්හු ඒවා ඔටුවන් පිට පැටවූ හ.
8පසුදා අලුයම ඔව්හු එක් ව මංගල්‍යයට යන්ට පිටත් වී රගුවෙල්ගේ නිවෙසට ළඟා වූ හ. එහි තෝබියස් ආහාර අනුභව කරමින් සිටියේ ය. ඔහු ගබයෙල්ට ආචාර කිරීමට නැඟිට්ටේ ය. එවිට ගබයෙල් හඬන්න පටන්ගෙන මේ වචනවලින් ඔහුට ආශීර්වාද කරමින්, ”ගනු-දෙනුවල දී සාධාරණ වූ ද, ත්‍යාගශීලී වූ ද කිසි දෝෂාරෝපණයක් රහිත පියෙකුගේ ශ්‍රේෂ්ඨ පුත්‍රයෙකි, ඔබ.
9සමිඳාණන් වහන්සේ ඔබට ද ඔබේ බිරිඳට ද, ඔබේ බිරිඳගේ දෙමාපියන්ට ද ස්වර්ගීක ආශීර්වාදය දානය කරන සේක් වා! මාගේ සහෝදර තෝබිත්ගේ ජීවමාන පිළිරුවක් වැනි මොහු දැකීමට මට වරම් දීම ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා!”යි කීවේ ය.