ජුඩිත් 12

පෙර මීළඟ
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
1ඉන්පසු ඔහු කෑම මේසයට ගන්නා රිදී භාණ්ඩ සමූහය පිළියෙළ කර තිබුණු තැනට ඇයට යන්නට ද, ඈට තමාගේ ම ආහාරයෙන් දෙන්නට ද සලසා, තමාගේ ම මිදිපැනින් ඈට පානය කරන්නට දුන්නේ ය. 2එහෙත් ජුදිත් කතා කොට, ”මේ කෑම අනුභව නොකර සිටීම වඩා යහපතැයි සිතමි. මන්ද, මට එයින් පාපයක් සිදු වෙන්නට පුළුවන. මා සමඟ මා ගෙනා දේ මට සෑහේ ය”යි කීවා ය. 3ඔබේ ආහාර ද්‍රව්‍ය පිරිහී ගියොත් මෙවැනි දේ අප විසින් ඔබට සපයා දිය හැක්කේ කෙසේ ද? ඔබේ ජාතියට අයිති කිසිවෙක් මෙහි නැත්තේ ය”යි හොලෝපර්නස් කීවේ ය. 4කරදර නොවන්න, ස්වාමීනි, ඔබේ මෙහෙකාරිය වන මා මේ සියලු ආහාර ද්‍රව්‍ය ඉවර කරනු පෙර සමිඳාණන් වහන්සේ මා මඟින් තමන් වහන්සේගේ අරමුණ ඉටු කරන සේකැ”යි ජුදිත් කීවා ය. 5එවිට හොලෝපර්නස්ගේ සහකාරයෝ ඇය කූඩාරමකට කැඳවාගෙන ගියෝ ය. ඈ එහි මැදියම් රෑ වන තෙක් නිදාගත්තා ය. පාන්දර යාමය ආසන්න වූ විට ඈ නැඟිට්ටා ය. 6තම මෙහෙකාරියට යාච්ඤා කිරීම සඳහා පිටතට යන්නට ඉඩ දෙන ලෙස මාගේ ස්වාමීහු කරුණාකර අණකරත්වා යි ඈ කලින් ම හොලෝපර්නස්ට දන්වා තිබිණි. 7මෙසේ කිරීමට ඈට බාධා නොකරන ලෙස හොලෝපර්නස් ද තම මුරකරුවන්ට නියම කර තිබිණි. ඈ තෙදිනක් කඳවුරෙහි ම නැවතී සිටියා ය. රාත්‍රියෙහි දී ඈ බෙතුලියාවේ මිටියාවත දෙසට පිට වී ගොස් මුර පොළ අසල තිබුණු දිය උල්පතින් සෝදාගෙන පිරිසිදු වූවා ය. 8දිය උල්පතෙන් නැඟිට ඈ තම සෙනඟ මුදාගැනීම සම්බන්ධ කාර්යයෙහි දී තමාට මඟපෙන්වන ලෙස ඉල්ලා ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට යාච්ඤා කළා ය. 9පිරිසිදු වීමේ කෘත්‍යය නිම වූ ඉක්බිති ඈ ආපසු ගොස් සවස් භාගයෙහි දී තමාගේ ආහාරය ගෙනෙන තෙක් තම කූඩාරමෙහි නැවතී සිටියා ය. 10සතර වන දින හොලෝපර්නස් මංගල භෝජනයක් පිළියෙළ කර අධිකාරි මණ්ඩලයේ උසස් මුලාදෑනීන් පමණක් එයට කැඳවී ය. අනෙක් සේවකයන්ගෙන් කිසිවෙක් නොකැඳවන ලද්දෝ ය. 11හොලෝපර්නස් තම පෞද්ගලික කටයුතු බාරව සිටි බගොවස් නම් නපුංසකයාට කතා කොට, ”නුඹ ගොස් නුඹේ ආරක්ෂාවෙහි සිටින අර හෙබ්‍රෙව් ස්ත්‍රිය, මෙහි පැමිණ අප සමඟ එකතු වී කන්නට ද බොන්නට ද කැමැති කරවාගන්න. 12ඈ සමඟ කිට්ටු ආශ්‍රයක් නැති ව ඇය වැනි ස්ත්‍රියක යන්න හැරීම අපට මදිකමකි. ඇය දූෂණය නොකළොත් අපි අන්‍යයන්ගේ සිනහවට ලක් වන්නෙමු”යි කී ය. 13එවිට බගොවස් හොලෝපර්නස් කෙරෙන් පිටත් ව ජුදිත් හමුවීමට ගොස්, ”මේ තරුණ ශෝභන කාන්තාව මාගේ ස්වාමීන් ඉදිරියට පැමිණෙන්ට කරුණා නොකරන්නී ද? ඈ ඔහු අභිමුව ගෞරව ස්ථානයෙහි හිඳිනු ඇත. අප සමඟ මංගල මුද්‍රික පානය බොමින් අද ම නෙබුකද්නෙශර්ගේ මාලිගයෙහි සිටින අසිරියා කාන්තාවක මෙන් සලකනු ලබන්නී ය.”යි කීවේ ය. 14ජුදිත් උත්තර දෙමින්, ”මාගේ ස්වාමීන්ගේ කැමැත්ත ඉටු නොකිරීමට මා කවරෙක් ද? ඔහුට ප්‍රයෝජන වන කොයි දෙයක් වුවත් මම උද්‍යෝගයෙන් කරන්නෙමි, එසේ කිරීම මාගේ මරණ දිනය දක්වා මාගේ ප්‍රීතියට හේතුවක් වන්නේ ය”යි කීවා ය. 15මෙසේ කියා ඈ නැඟිට තම ඇඳුම් ආයිත්තම්වලින් ද සියලු කාන්තා ආභරණවලින් ද සැරසුණා ය. ඇගේ මෙහෙකාරිය ඈ පෙරටු ව ගොස් ආහාර අනුභව කිරීමෙහි දී වාඩිවෙනු සඳහා දිනපතා භාවිතයට බගොවස් විසින් දෙන ලද ලෝම කළාලය හොලෝපර්නස් ඉදිරියෙහි බිම දිගහැරියා ය. 16ජුදිත් ඇතුළු වී තමාගේ නියම තැන ගත්තා ය. ඈ දැක්මෙන් ම හොලෝපර්නස්ගේ හෘදය සම්පූර්ණයෙන් කුල්මත් විය. ඔහුගේ සිත කැළඹුණි. ඇය සමඟ සයනය කිරීමට බලවත් ආශාවක් ඔහු තුළ විනිවිද ගියේ ය. මන්ද, ඇය දුටු පළමු වන දවසේ පටන් ඔහු ඇය දූෂණය කරන්නට යෝග්‍ය අවස්ථාවක් සොයමින් සිටි හෙයිනි. 17ඔහු ඈට කතා කොට, ”දැන් බොන්න, බොන්න, අපේ ප්‍රීතියට සහභාගි වන්නැ”යි කී ය. ”ස්වාමීනි, මම කැමැත්තෙන් ම එසේ කරමි, මන්ද මා උපන් දා පටන් අද මෙන් මාගේ ජීවිතය කවදාවත් මෙතරම් අගේ කර නැති හෙයිනි”යි කීවා ය. 18ඈ තම මෙහෙකාරිය තමාට පිළියෙළ කර තිබුණු දේ ගෙන ඔහු ඉදිරියෙහි එයින් කෑවා ය, බීවා ය. හොලෝපර්නස් ඈ කෙරෙහි කොපමණ වශීභූත වී සිටියේ ද යත් ඔහුගේ මුළු ජීවිත කාලයෙහි දී කවදාවත් නොබිවූ තරම් මුද්‍රික පානය එදින ඔහු බීවේ ය.