1ඉශ්රායෙල් ජනයා යුද්ධයට සූදානම් වෙමින් සිටින්නෝ යයි ද, ඔව්හු කඳුවල පටු පාරවල් වසාදමා උස් කඳු මුදුන්වල ආරක්ෂා සංවිධාන යොදා මිටියාවත්වල අවහිර පිළියෙළ කළෝ යයි ද අසිරියන් හමුදාවේ ප්‍රධාන සෙන්පතියා වූ හොලෝපර්නස්ට සැළ කරන ලදී.
2එවිට ඔහු අතිශයින් කෝපාවිෂ්ට වී මෝවබ්වරුන්ගේ සියලු අධිපතීන් ද, අම්මොනිවරුන්ගේ සියලු සෙන්පතීන් ද මුහුදු වෙරළබඩ සියලු ප්‍රාදේශීය පාලකයන් ද කැඳවූයේ ය.
3ඔහු කානානිය ජනයාට කතා කොට, ”කඳුකර ප්‍රදේශයෙහි වාසය කරන මේ ජනයා කවුරු ද කියා මට දන්වන්න. ඔවුන් වාසය කරන නගර මොනවා ද? ඔවුන්ගේ හමුදාව කෙතෙක් විශාල ද? ඔවුන්ගේ ශක්තිය හා බලය කුමක්හි පිහිටා තිබේ ද? ඔවුන් පාලනය කරන්නා වූ ද, ඔවුන්ගේ සේනාව හසුරුවන්නා වූ ද රජ කවරෙක් ද?
4බටහිර ප්‍රදේශයේ අනෙක් සියලු වැසියන් කළාක්මෙන් මා හමුවීමට පැමිණීම ඔවුන් සුළු කොට සැලකුවේ මන්දැ”යි විචාළේ ය.
5සියලු අම්මොනිවරුන්ගේ ප්‍රධානියා වූ අකියෝර් කතා කොට ඔහුට මෙසේ උත්තර දුන්නේ ය: ”ඔබේ මෙහෙකරුවා කියන්නට යන දෙයට මාගේ ස්වාමීනි, කරුණාකර සවන් දෙත් වා! ඔබට ඉතා කිට්ටුවෙන් වසන මේ කඳුකර ප්‍රදේශයේ ජනයා ගැන ඔබට සත්‍ය තොරතුරු දන්වන්නෙමි. ඔබේ මෙහෙකරුවාගේ මුවින් බොරුවක් පිටවනු නැත.
6මේ ජනයා කල්දිවරුන්ගෙන් පැවත එන්නෝ ය.
7අති පුරාණයේ දී කල්දියාවෙහි ජීවත් වූ තමන්ගේ පියවරුන්ගේ දෙවිවරුන් අනුව යන්නට අකමැති වූ හෙයින් ඔව්හු ගොස් මෙසොපොතේමියාවෙහි පදිංචි වූවෝ ය.
8ඔව්හු තම මුතුන්මිත්තන්ගේ ක්‍රියා මාර්ගය ඉවත ලා තමන් දැනගෙන සිටි ස්වර්ගයේ දෙවියන් වහන්සේට වන්දනා කළෝ ය. ඔව්හු තමන්ගේ දෙවිවරුන් ඉදිරියෙන් පිටුවහල් කරන ලදුව මෙසොපොතේමියාවට පලා ගොස් බොහෝ කලක් එහි ජීවත් වූවෝ ය.
9ඔවුන්ගේ දෙවියන් වහන්සේ ඔවුන්ට තමන්ගේ වාසස්ථානය හැරදමා කානාන් දේශයට පිටත් ව යන්නට නියම කළ විට ඔව්හු එහි ගොස් පදිංචි වී රන් රිදී ද විශාල ගව පට්ටි ද රැස් කරගත්තෝ ය.
10ඊළඟට ඔව්හු, කානාන් දේශයෙහි සාගතයක් පැතිර ගිය හෙයින් මිසරයට බැස ගොස් ආහාර ඇති තෙක් එහි ජීවත් ව සිටියෝ ය. එහිදී ඔව්හු අති විශාල ජනකායක් වී ගණන් නොකළ හැකි තරම් මහා ජාතියක් වූවෝ ය.
11එහෙත් මිසරයේ රජ ඔවුන්ට විරුද්ධ වී ඔවුන් නොනිසි සේ තමාගේ ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ට ගඩොල් සෑදීමට බල කෙළේ ය. ඔහු ඔවුන් සිටි තත්ත්වයෙන් පහත හෙලා ඔවුන් වහල් කමට ගත්තේ ය.
12ඔවුන් තමන්ගේ දෙවියන් වහන්සේට හඬ නැඟුව විට උන් වහන්සේ මිසර දේශයට සුව කළ නොහැකි වංසගතවලින් පහර දුන් සේක. එවිට මිසර වැසියෝ ඔවුන් රටින් නෙරපා දැමුවෝ ය.
13දෙවියන් වහන්සේ ඔවුන් ඉදිරියෙහි රතු මුහුද වියැළී යන්නට සැලැසූ සේක;
14සීනයි හා කාදෙෂ්-බර්නේය ඔස්සේ ඔවුන්ට මඟ පෙන්වූ සේක. කාන්තාරයේ සියලු වැසියන් එළවාදැමූ පසු,
15ඔව්හු අම්මොනිවරුන්ගේ දේශයෙහි පදිංචි වී තමන්ගේ ශක්තියෙන් හෙෂ්බොන්හි සියලු වැසියන් සහමුලින් වැනසුවෝ ය. ඉන්පසු ඔව්හු ජෝර්දාන් ගඟෙන් එතෙර වී,
16මුළු කඳුකර ප්‍රදේශය අල්ලාගෙන තමන් ඉදිරියෙහි කානානිවරුන් ද පෙරිස්සිවරුන් ද ජෙබුසිවරුන් ද සෙකිමිවරුන් ද එසේ ම සියලු ගිර්ගාෂිවරුන් ද එළවාදමා බොහෝ අවුරුදු ගණනක් එහි ජීවත් වූවෝ ය.
17ඔවුන් තමන්ගේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි පව් නොකර සිටි තෙක් සෞභාග්‍යය ඔවුන් සමඟ විය. මන්ද, දුෂ්ටකමට වෛර කරන දෙවි කෙනෙකු ඔවුන්ට සිටි හෙයිනි.
18එහෙත් උන් වහන්සේ ඔවුන්ට නියම කළ මාර්ගයෙන් ඔවුන් ඉවතට හැරුණු විට ඔවුන්ගෙන් සමහරු නොකඩවා වූ යුද්ධවලින් සම්පූර්ණයෙන් විනාශ වී ගියෝ ය. ඉතිරි අය පරදේශයන්හි වහල්කමට ගෙනයන ලද්දෝ ය. ඔවුන්ගේ දේව මාලිගාව සහමුලින් බිඳ දමන ලද්දේ ය. ඔවුන්ගේ නුවරවල් සතුරන්ගේ බලයට යටත් විය.
19එවිට ඔව්හු තමන්ගේ දෙවියන් වහන්සේ වෙතට නැවත හැරී තමන්ගේ විප්‍රවාසයෙන් හා තමන් විසිරගිය තැන්වලින් නැවත නැඟ අවුත් ඔවුන්ගේ දේව මාලිගාව තිබෙන ජෙරුසලම නැවත අයිති කරගෙන ජනශුන්‍ය ව තිබුණ කඳුකර ප්‍රදේශයෙහි නැවත ජනයා පදිංචි කෙරෙව්වෝ ය.
20දැන් ඉතින් අධිපතියාණෙනි, සමිඳුනි, මේ ජනයා තුළ යම් වරදක් ඇත්තේ නම් ඔව්හු තමන්ගේ දෙවියන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ නම් ඔවුන් පරාජය වීමට හේතුවක් ඇත්තේ දැ යි පරිස්සමින් පරීක්ෂා කර බලමු. ඉන්පසු අපි පෙරටුව ගොස් ඔවුන්ට පහර දෙමු.
21එහෙත් ඔවුන්ගේ ජාතිය නිර්දෝෂ නම් මාගේ සමිඳුනි, ආක්‍රමණයෙන් වැළකෙත් වා! මන්ද, දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් ආරක්ෂා කරන බවට සැකයක් නැති හෙයිනි. එවිට අපි මුළු ලෝකයාගේ සිනහවට භාජනය වන්නෙමු.”
22අකියෝර් මෙසේ කතාව නිම කළ විට කූඩාරම වටේ රැස් ව සිටි ජන සමූහයා විරුද්ධත්වය ප්‍රකාශ කරන්නට පටන්ගත්තෝ ය. හොලෝපර්නස්ගේ ජ්‍යෙෂ්ඨ මුලාදෑනියෝ ද වෙරළේ සියලු වැසියෝ ද, මෝවබ්වරු ද, ඔහු කෑලි කෑලි කොට ඉරා දමන්නට යෝජනා කළෝ ය.
23අප ඉශ්රායෙල්වරුන්ට බිය වන්නේ කුමට ද? ඔව්හු වනාහි ශක්තියක් හෝ බලයක් හෝ නොමැති මනුෂ්‍ය වර්ගයකි. දරුණු ආක්‍රමණයකට විරුද්ධ ව සිටීමට ඔවුන්ට නොපිළිවන.
24එහෙයින් අපි යමු; පෙරට යමු. අපේ ස්වාමීන් වන හොලෝපර්නස් තුමනි, ඔබේ හමුදාව ඔවුන් එක කටින් ගිලදමනු ඇතැ”යි ඔව්හු කීවෝ ය.