1එම්බා ජෙරුසලම් නගරය, දුක් හා වේදනාවේ වස්ත්‍රය ඉවත ලා, දෙවි මහිමයේ ශෝභනකම සදහට ම ඇඟලාගන්න.
2දේව අවංකකම නමැති සළුව පැළඳගන්න. ඔබ සිරස මත සදාතනිකයාණන්ගේ තෙදබල කිරීටය තබාගන්න.
3මන්ද, මිහි පිට සිටින සෑම ජාතියකට ම ඔබේ මහිමය පෙන්වීමට දෙවිඳාණෝ සලසන සේක. දෙවිඳාණන් ඔබට දෙන නාමය සදා පවතින්නේ ය.
4සාමය උදාවූයේ අවංකකමිනි. ගෞරවය උදාවූයේ ලැදිකමිනි.
5ජෙරුසලම, නැඟිට උස් තැන්හි සිටගන්න. ඔබේ දෙනෙත් පෙරදිගට හරවන්න. සුවිශුද්ධ තැනැන් වහන්සේගේ අණට එකඟ ව පෙර අපර දෙදිගින් රැස් වී සිටින ඔබේ දරුවන් දෙස බලන්න. දෙවිඳාණෝ ඔවුන් සිහිපත් කළ සේක කියා ඔව්හු ජය ගොස නඟති.
6සතුරන් නමැති පිරිවර ඇති ව ඔව්හු පයින් පිටත් වී ගියහ. එහෙත් දැන්, තේජාන්විත ව, උසුලාගෙන යන රජකුමරුන් මෙන් දෙවිඳාණෝ ඔවුන් ඔබ වෙත ගෙනෙන සේක.
7මන්ද, දේව මහිමාලංකාරයෙහි සුව සේ ඉශ්රායෙල් ජනයා ගමන් කරන පිණිස දෙවිඳාණන් සියලු උස් කඳුවලට ද සදාතන කඳුවලට ද, සම භූමියක් වීමටත්, මිටියාවත් පිරී සමතලා භූමියක් වීමටත් නියම කර ඇත.
8දේව අණට එකඟ ව වන රොද හා සෑම සුවඳ කුසුම් ගසක් ඉශ්රායෙල් ජනයා හට සෙවණ දෙනු ඇත.
9දේව දයාව සහ අවංකකම පිරිවර මෙන් ඇතිව දෙවිඳාණෝ ස්වකීය මහිමාලෝකයෙහි ප්‍රීතියෙන් යාමට ඉශ්රායෙල් ජනයාට මඟ පෙන්වන සේක.