ප්‍රේම ගී 2

පෙර මීළඟ
1 2 3 4 5 6 7 8
1මම ෂාරොන්හි සෙව්වන්දියක් ය; මිටියාවත්වල මානෙල් මලක් ය. 2කටු ගස් අතරේ මානෙල් මලක් යම් සේ ද යුවතියන් අතරේ මාගේ සොඳුරියත් එසේ ම ය. 3වනයේ ගස් අතරේ ජම්බු ගස් යම් සේ ද තරුණයන් අතරේ මාගේ පෙම්වතාත් එසේ ම ය. ඒ රුක් සෙවණෙහි හිඳීමට මම ප්‍රිය කරමි; එහි ඵල මා මුවට ඉමිහිරි ය. 4ඔහු බොදුන් හලට මා ගෙනායේ ය. මට උඩින් එසෙවු කොඩිය ප්‍රේමය ය. 5වියළි මිදි පලවලින් මා ශක්තිමත් කරන්න; ජම්බුවලින් මා පණ ගන්වන්න. මන්ද, මම අනුරාගයෙන් ගිලන් වී සිටිමි. 6ඔහුගේ වමත මාගේ හිස යට ඇත; දකුණතින් ඔහු මා වැළඳගෙන ඇත. 7ජෙරුසලම් වනිතාවෙනි, ඔබ අප දෙදෙනා අතර ඇති ප්‍රේමයට බාධා නොකරන බවට කුඹුරේ දෙවි දේවතාවන්ගේ නාමයෙන් දිවුරන්න. 8අන්න, මා පෙම්වතාගේ කට හඬ; කඳු මත පනිමින්, හෙල් පිට නඟිමින් බලන්න එන හැටි විගසින්. 9මා පෙම්වතා මුවෙකු වැනි ය. ඔහු මුව පැටවෙකු වැනි ය; බිත්තිය අයිනේ සිටගෙන, කවුළුව දෙස බලමින් ඔහු සිටියි, ගරාදි අතරෙන් එබිකම් කරමින්; 10මා පෙම්වතා මා අමතමින් මට මෙසේ කී ය: ”මා සුරතලිය, නැඟිටින්න; මා සොඳුරිය, දැන් එන්න. 11සිසිර කාලය දැන් පසු වී ඇත; වැසි වරුසා නතර වී ඇත. 12මිහි පිට මල් පිපී ඇත; ගී ගයනා කාලය පැමිණ ඇත; කොවුල් හඬ දසත පැතිර යත. 13පැසුණු දිඹුල් පල ඉදෙන විට, මිදිවැල් සුවඳ හමන විට, මා සුරතලිය, නැඟිට එන්න; මා සොඳුරිය, දැන් එන්න. 14කඳු විවරවල, හෙල් කුහර තුළ මා පරෙවි දෙන, ඔබේ මුහුණ මට දකින්න දෙන්න; ඔබේ කට හඬ මට ඇසෙන්නට දෙන්න; ඔබේ කට හඬ මිහිරි ය; ඔබේ මුහුණ සෝබන ය.” 15මිදිවැල්වල මල් පිපී ඇති විට ඒවා වනසන සිවලුන්, කුඩා සිවලුන් අල්ලා ගන්න. 16මාගේ පෙම්වතා මාගේ ය; මම ඔහුගේ ය. ඔහු මානෙල් අතරේ බැටළු රැළ කවයි. 17මාගේ පෙම්වත, උදේ සුළං හමන තුරු, සෙවණැලි පහ වන තුරු බෙතෙල් කඳු පිට යන මුවෙකු නොහොත් මුව පැටියෙකු මෙන් හැරී එන්න.