ප්‍රේම ගී 6

පෙර මීළඟ
1 2 3 4 5 6 7 8
1වනිතාවන්ගෙන් ඉතා රූමත් තැනැත්තිය, ඔබේ පෙම්වතා කොතැනට ගියේ ද? ඔබේ පෙම්වතා කොයි දෙසට හැරී ගියේ ද? අපි ඔබ සමඟ ඔහු සොයන්නෙමු. 2මා පෙම්වතා උයන්වල බැටළු රැළ කවන පිණිසත්, මානෙල් මල් නෙළා ගන්න පිණිසත් තම උයනෙහි සුවඳ පැළ ඇති පාත්තිවලට ගියේ ය. 3මම මා පෙම්වතාගේ ය; මා පෙම්වතා මාගේ ය. ඔහු මානෙල් අතරේ තම රැළ කවයි. 4මාගේ සොඳුරිය, ඔබ තිර්සා නගරය මෙන් අලංකාර ය. ජෙරුසලම මෙන් ශෝභන ය. කොඩිගත් සේනාවක් මෙන් බලසම්පන්න ව සිටින්නෙහි ය. 5ඔබේ දෙනෙත මා වෙතින් ඉවතට හරවාගන්න; මන්ද, ඒවා මා වසඟ කරයි. ඔබේ වරලස ගිලියද්හි ලැග ඉන්න එළු රැළක් වැනි ය. 6ලොම් කපා නාවන ලද බැටළුවන් මෙන් ඔබේ දත් සුදෝ සුදු ය. එකක්වත් අඩු නැත; මනා සේ ගැළපී ඇත. 7ඔබේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ දෙකපොල දෙළුම් පළු වැනි ය. 8බිසෝවරුන් සැටක් ද උපභාර්යාවන් අසූවක් ද ගණන් කළ නොහැකි තරුණියන් ද සිටියත්, 9මාගේ පරෙවි දෙනට, මාගේ නිර්මල තැනැත්තියට සම වූ අන් කෙනෙක් නැත. ඈ ඇගේ මවගේ එක ම දැරිය ය; ඈ බිහි කළ මවගේ ප්‍රියතම තැනැත්තී ය. වනිතාවෝ ඈ දැක ‘ඈ වාසනාවන්තී ය’යි කී හ. එසේ ය, බිසෝවරු ද උපභාර්යාවෝ ද ඇය දැක ඇය වර්ණනා කළහ. 10අරුණාලෝකය මෙන් නැඟී එන, සඳ මෙන් රුව ඇති, ඉර මෙන් දිළිසෙන, කොඩිගත් සේනාවක් මෙන් බලසම්පන්න මේ තැනැත්තී කවරෙක් ද? 11මම මිටියාවතේ ගස් කොළන් බලන පිණිසත්, මිදි වැල් දලු ලෑවේ ද කියාත්, දෙළුම් ගස්වල මල් පිපුණේ ද කියාත් බලන පිණිසත් කොට්ටම්බා උයනට බැස ගියෙමි. 12මම වෙවුලමින් සිටිමි; යුද රියේ නියමුවා සටන පතන සේ ඔබේ ප්‍රේමය පතන්නට ඔබ මා උනන්දු කරවා ඇත. 13ෂුලම්මිය කාන්තාව, හැරී එන්න, හැරී එන්න, අප ඔබ නරඹන පිණිස හැරී එන්න, හැරී එන්න.