1සිදු වූ දේ දැනගත් කෙණෙහි ම මොර්දෙකායි ශෝකයෙන් තම වස්ත්‍ර ඉරා, අළු තවරාගෙන, ගෝනි රෙදි ඇන්දේ ය.
2ඉන්පසු ඔහු මහත් සෝ දුකින් ශබ්ද නඟා වැලපෙමින් ගෝනි රෙදි හැඳගත් කිසිවකුට රජවාසල් ඉදිරියට යන්ට අවසර නැති නමුත් එහි යන තෙක් මුළු නුවර මැදින් ගමන් කෙළේ ය.
3රාජ නියෝගය ප්‍රකාශ කරනු ලැබූ කෙණෙහි ම සියලු ජුදෙව්වරුන් අතර වැලපීම ද උපවාස ද හැඬීම ද විලාපය ද විය. බොහෝ දෙනෙක් අළු සහ ගෝනි රෙදි පිට වැතිරගත්හ.
4එවිට එස්තර්ගේ සේවිකාවෝ ද නපුංසකයෝ ද මේ බව ඇයට දැන්වූවෝ ය. බිසව අතිශයින් ශෝකපත් වූවා ය. ගෝනි රෙදි වෙනුවට වෙන වස්ත්‍ර අඳින පිණිස ඈ මොර්දෙකායිට ඇඳුම් යැව්වා ය. එහෙත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කෙළේ ය.
5එවිට එස්තර් ඇයට සේවය කරන පිණිස රජු විසින් පත් කරන ලද නපුංසකයන්ගෙන් කෙනෙකු වූ හාතාක් කැඳවා කාරණාව කුමක් දැ යි, ඔහු මේ ආකාරයෙන් හැසිරෙන්නේ කුමක් නිසා දැ යි අසන පිණිස මොර්දෙකායි වෙත යැවුවා ය.
6හාතාක් පිටත් වී ගොස් රජ වාසල ඉදිරිපිට චතුරශ්‍රයෙහි තව ම නැවතී සිටි මොර්දෙකායි වෙත පැමිණියේ ය.
7එවිට මොර්දෙකායි සිදු වූ සියලු දේ ගැන ද විශේෂයෙන් ජුදෙව්වරුන් විනාශ කිරීම සම්බන්ධයෙන් ඇති වන අලාභය වෙනුවට හාමාන් රාජකීය භාණ්ඩාගාරයට ගෙවන්න පොරොන්දු වූ විශාල මුදල ගැන ද ඔහුට කීයේ ය.
8තවද ඔහු ජුදෙව්වරුන් විනාශ කරන්ට සූසාහි දී ප්‍රසිද්ධ කරන ලද නියෝග පත්‍රයේ පිටපතක් ද ඔහුට දුන්නේ ය. එස්තර් කාරණය දැන ගන්න පිණිස මේ පිටපත ඇයට පෙන්වීම සෑහේ යයි ඔහු සිතුවේ ය. ඈ රජු වෙත ගොස් ඇගේ සෙනඟගේ කාරණය සම්බන්ධයෙන් ඔහුගේ අනුකම්පාව ඉල්ලා සිටින ලෙස ඔහු ඇයට නියම කෙළේ ය. ඔහු එස්තර්ට මෙසේ කියා ඇරියේ ය: ”මා මගේ අතින් ම ඔබ පෝෂ්‍ය කළ දවස්වල දී ඔබ සිටි පහත් තත්ත්වය සිහිපත් කරන්න. මන්ද, රාජ්‍යයේ දෙවැන්නා වන හාමාන් අපේ මරණය රජුගෙන් ඉල්ලා තිබෙන හෙයිනි. සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න. අප උදෙසා රජුට කතා කරන්න. මරණයෙන් අප ගළවාගන්න” යනුයි.
9හාතාක් හැරී ගොස් මොර්දෙකායි කී දේ එස්තර්ට දැන්වූයේ ය.
10ඈ උත්තර වශයෙන් ඔහුට පණිවුඩයක් යවමින්,
11අඬගසනු නොලැබ මළුවට රජු වෙත යන පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ වුව ද නොනස්නා පිණිස රජු ඒ අය දෙසට රාජ යෂ්ටිය දිගු කළොත් මිස එසේ යන තැනැත්තා සම්බන්ධයෙන් ඇත්තේ එක ම වෙනස් නොවන නියමයක් බව රජුගේ සියලු සේවකයෝ ද රජුගේ සියලු ප්‍රදේශවල සියලු වැසියෝ ද දනිති. ඇරත් රජු ළඟට යන්නට දැනට තිස් දවසකින් මම කැඳවනු නොලැබීමි”යි මොර්දෙකායිට කියන්නට අණ කළා ය.
12එස්තර්ගේ මේ වචන මොර්දෙකායිට දන්වන ලදී.
13එවිට ඔහු එස්තර්ට උත්තර යවමින්, ”ඔබ රජ ගෙදර සිටින හෙයින් සියලු ජුදෙව්වරුන් අතරෙන් ඔබ පමණක් ගැළවෙති යි නොසිතන්න.
14සිදුවන්නේ මෙය නොවේ. තත්ත්වය මෙසේ තිබිය දී ඔබේ අදහසෙහි ඔබ එල්බ සිට නිශ්ශබ්ද වුවහොත් වෙන තැනකින් ජුදෙව්වරුන්ට නිදහසත් ගැළවීමත් ලැබෙනු ඇත. එහෙත්, ඔබත් ඔබේ පිය වංශයත් නැති වන්නේ ය. ඔබ රාජත්වයට පැමුණුනේ මෙබඳු ප්‍රස්තාවක් නිසා ම නොවේ ද යනු දන්නේ කවරෙක් දැ”යි කියන්නට අණ කෙළේ ය.
15එස්තර් මොර්දෙකායිට මෙසේ කියා යැව්වා ය. ”ඔබ ගොස් සූසාහි සිටින සියලු ජුදෙව්වරුන් රැස් කරන්න.
16මා උදෙසා උපවාසයෙන් සිටින්න. දවස් තුනක් හා රාත්‍රි තුනක් නොකා, නොබී සිටින්න. මම ද මාගේ මෙහෙකාරියන් සමඟ එසේ උපවාසයෙන් සිටින්නෙමි. මේ ආකාරයෙන් සූදානම් වී මම නීතිය ගැන නො සලකා රජු වෙත යන්නෙමි. මැරෙන්නට අවශ්‍ය නම් මැරෙන්නෙමි.”
17මොර්දෙකායි ගොස් එස්තර්ගේ නියමය ලෙස කෙළේ ය.