එස්තර් 8

පෙර මීළඟ
1 2 3 4 5 6 7 8 9 10 11
1ඒ දවසේ දී අහෂ්වේරොෂ් රජ ජුදෙව්වරුන්ගේ පීඩකයා වූ හාමාන්ගේ ගේදොර එස්තර් බිසොවට දුන්නේ ය. එස්තර් විසින් මොර්දෙකායි සමඟ තමාගේ නෑකම එළිදරව් කරනු ලැබූ හෙයින් මොර්දෙකායි රජු ඉදිරියට පමුණුවනු ලැබුවේ ය. 2රජු හාමාන්ගෙන් තමාගේ පේරැස් මුද්ද ආපසු ලබාගෙන තිබිණි. ඔහු එය තම ඇඟිල්ලෙන් ගලවා මොර්දෙකායිට දුන්නේ ය. එස්තර් මොර්දෙකායිට හාමාන්ගේ ගෘහයේ පාලනය බාර කෙළේ ය. 3එස්තර් නැවත වරක් රජුට කතා කරන්නට ගියා ය. ඈ රජුගේ පාමුල වැටී අඬමින් ආගාගිය ජාතික හාමාන් අදහස් කළ නපුරු ක්‍රියා මාර්ගය ද ජුදෙව්වරුන්ට විරුද්ධ ව ඔහු යෝජනා කළ උපාය ද නිශ්ප්‍රභා කරන මෙන් ඉල්ලා කන්නලව් කළා ය. 4රජ එස්තර් දෙසට රන්මුවා රාජ යෂ්ටිය දිගු කෙළේ ය. එවිට එස්තර් නැඟිට රජු ඉදිරියෙහි කෙළින් සිටියා ය. 5ඈ ඔහුට කතා කොට, ”එය රජතුමාගේ සතුට වන්නේ නම්, මට රජතුමා ඉදිරියෙහි කරුණාව ලැබී තිබේ නම්, මාගේ ඉල්ලීම සාධාරණ යයි රජතුමාට පෙනී යන්නේ නම්, මා රජතුමාගේ ඇස් හමුවෙහි ප්‍රිය වී නම්, රජතුමාගේ සියලු ප්‍රදේශවල සිටින ජුදෙව්වරුන් විනාශ කරන්නට අගාගිය ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන්ගේ ලියුම් පැහැදිලි ලෙස අවලංගු කරනු ලැබේ වා! 6මාගේ ජාතියට සිදු වන්නට යන විපත දැක මා සැනසී සිටින්නේ කෙසේ ද? මාගේ ජාතියේ සම්පූර්ණ විනාශය දැක දැක මා ඉවසා සිටින්නේ කෙසේ දැ”යි ඇසුවා ය. 7එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් බිසොවට ද ජුදෙව්වරයෙකු වූ මොර්දෙකායිට ද කතා කොට, ”මාගේ සැලකිල්ලට භාජන වූ කාරණයක් වශයෙන් ජුදෙව්වරුන් විනාශ කිරීමට උපායක් යෙදූ හාමාන් පෝරකයෙහි එල්ලනු ලබන්නට මම සලසා ඔහුගේ ගෘහය එස්තර්ට දුනිමි. 8ඔබ ද සුදුසු යයි ඔබ සිතන දේ රජුගේ නාමයෙන් ඔවුන්ට ලියා යවන්න. ඔබ ලියන දේ රජුගේ මුද්‍රාවෙන් මුද්‍රා කර යවන්න. මන්ද, රජුගේ නාමයෙන් ලියා රජුගේ මුද්‍රාවෙන් මුද්‍රා කළ සියලු නියෝගයන් අවලංගු නොකළ හැකි වන හෙයිනි”යි කීයේ ය. 9එකෙණෙහි ම රජුගේ ලේකම්වරු ද කැඳවනු ලැබුවෝ ය. එදින සීවාන් නම් තුන් වන මාසයේ විසි තුන් වන දින විය. මොර්දෙකායිගේ අණ පිට ඔව්හු ජුදෙව්වරුන්ට ප්‍රදේශ එක සිය විසි හතක් වූ ඉන්දියාවේ සිට එතියෝපියාව දක්වා ප්‍රදේශවල දිශාපතීන්ට ද ආණ්ඩුකාරයන්ට ද අධිපතීන්ට ද එක එක ප්‍රදේශයේ අකුරුවලින් හා එක එක සෙනඟගේ භාෂාවෙන් ද ජුදෙව්වරුන්ට ඔවුන්ගේ අකුරුවලින් හා ඔවුන්ගේ භාෂාවෙන් ද ලියා යැව්වෝ ය. 10අහෂ්වේරොෂ් රජුගේ නාමයෙන් ලියා ඔහුගේ මුද්‍රාවෙන් මුද්‍රා කරන ලද මේ ලියුම්, රජුගේ අශ්ව ගොවිපළින් ගත් අශ්වයින් පිට නැඟී ගිය පණිවුඩකාරයන් විසින් ගෙන යන ලද්දේ ය. ”මේ ලියුම මඟින් රජ සියලු ම නගරවල සිටි ජුදෙව්වරුන්ට තමන්ගේ ප්‍රාණය සුරක්ෂිත කරගනු සඳහා රැස්වීමේ අයිතිය ද, 11සෙනඟ අතුරෙන් හො‍් ප්‍රදේශවලින් හො‍් සන්නද්ධ ව එන කණ්ඩායම් සමඟ බාලයන් හා ස්ත්‍රීන් ඇතුළු ව සියල්ලන් විනාශ කිරීමටත්, මරන්නටත්, නාස්ති කරන්නටත් ඔවුන්ගේ දේපළ කොල්ලකන්නටත් ජුදෙව්වරුන්ට අවසරය දානය කෙළේ ය. 12මේ නියෝගය වලංගු වන්නට තිබුණේ අහෂ්වේරොෂ් රජුගේ සියලු ප්‍රදේශවල එක ම දිනයෙහි දී ය. එනම්, අදාර් නම් වූ දොළොස් වන මාසයේ දස තුන් වන දින දී ය. 13නියම කරන ලද දිනයේ දී සතුරන්ගේ පළිගැනීමට ජුදෙව්වරුන් සූදානම් ව සිටිනු සඳහා එක එක ප්‍රදේශයෙහි නීතියක් වශයෙන් ක්‍රියාවේ යොදවන්නට තිබුණු මේ ආඥාව මනුෂ්‍ය ජාතීන් අතර ප්‍රසිද්ධ කරන ලද්දේ ය. 14පණිවුඩකාරයෝ රාජ සේවයෙහි යෙදුණු අශ්වයන් පිට නැඟී රජුගේ අණ පිට ඉක්මනින් ද කඩිසර ලෙස ද පිටත් ව ගියෝ ය. ආඥාව සූසා බලකොටුවෙහි ද ප්‍රසිද්ධ කරන ලද්දේ ය. 15මොර්දෙකායි නිල් සුදු රාජ වස්ත්‍රවලින් සැරසී විශාල රන් ඔටුන්නක් දරමින්, රත්-නිල් සිහින් හණ උතුරු සලුවක් පැළඳගෙන රජු වෙතින් පිටත් ව ගියේ ය. 16මුළු සූසා නුවර ප්‍රීතියෙන් රැව් පිළිරැව් දුන්නේ ය. මේ දවස ජුදෙව්වරුන්ට ආලෝකයේ ද ප්‍රීති සන්තෝෂයේ ද ප්‍රමෝදයේ ද ජයග්‍රහණයේ ද දිනයක් විය. 17රජුගේ ආඥාව සහ නියෝගය ලැබුණු සියලු ප්‍රදේශවල ද නුවරවල ද සැම තැන්වල ද ජුදෙව්වරුන්ට ප්‍රීතිය සහ සන්තෝෂය ද මංගල භෝජනය ද උත්සවශ්‍රිය ද විය. දේශයේ ජනයා අතරෙන් බොහෝ දෙන ජුදෙව් දහම වැළඳ ගත්හ. මන්ද, ජුදෙව්වරුන් ගැන ජනයා බිය වූ හෙයිනි.