අප්‍රේල් 2027

බ්‍ර සි සෙ
123
45678910
11121314151617
18192021222324
252627282930
අද දිනට

කියවීම්

2027 අප්‍රේල් 2

Easter Friday

දවසේ දේව මෙහෙය
First Reading

ක්‍රියා 4: 1-12

1පේදුරු තුමා සහ ජොහන් තුමා සෙනඟට කතා කරමින් සිටිය දී, පූජකයෝ ද දේව මාලිගාවේ මුර සෙබළුන්ගේ ප්‍රධානියා ද සද්දුසිවරු ද ඔවුන් අබිමුවට කඩා වැදුණාහ. 2ඔවුන් සෙනඟට අනුශාසනා කළ නිසා ද ජේසුස් වහන්සේගේ උත්ථානය මඟින් පුනරුජ්ජීවනය ඇති වන බව ප්‍රකාශ කළ නිසා ද ඔව්හු අතිශයෙන් උදහස් වූ හ. 3ඔව්හු ඔවුන් අත්අඩංගුවට ගෙන, සවස් වී තිබුණු බැවින්, පසු දා වන තුරු හිර අඩස්සියේ තැබූ හ. 4එහෙත් පණිවුඩය ඇසූ බොහෝ දෙනෙක් අදහාගත්හ. ඒ පිරිමින්ගේ ගණන පන්දහසක් පමණ විය. 5පසුවදා ඔවුන්ගේ ප්‍රධානීහු ද ප්‍රජා මූලිකයෝ ද විනයධරයෝ ද යන මොවුහු, 6උත්තම පූජක අන්නස් ද කායාපස් ද ජොහන් ද අලෙක්සන්දර් ද ඇතුළු උත්තම පූජක පරපුරට අයිති සියලු දෙනා ද සමඟ ජෙරුසලමේ රැස් වූ හ. 7ඔව්හු ප්‍රේරිතවරුන් දෙදෙනා සභාව මැද සිටුවා, ”ඔබ කුමන බලයකින්, කවරෙකුගේ නාමයෙන් මෙය කළහු දැ”යි විචාළහ. 8එවිට පේදුරු ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව ඔවුන් අමතා මෙසේ කී ය: ”ප්‍රධානියෙනි, ප්‍රජා මූලිකයෙනි, 9කොර මිනිසෙකුට කරන ලද කාරුණික ක්‍රියාව ගැන හා ඔහු සුවපත් කරන ලද්දේ කෙසේ ද යන්න ගැන හා අද අපි විමසනු ලබමු නම්, 10එයට අපේ පිළිතුර මෙසේ ය: ඔබ විසින් කුරුසියේ ඇණ ගසන ලද්දා වූ ද දෙවියන් වහන්සේ විසින් උත්ථාන කරන ලද්දා වූ ද නාසරෙත්හි ජේසුස් වහන්සේගේ අනුහසින් ඔබ ඉදිරියේ මේ මිනිසා සුව සම්පන්න ව සිටියි. ඒ බව ඔබ සියලු දෙනාත්, මුළු ඉශ්රායෙල් ජනයාත් දැන ගනිත් වා. 11උන් වහන්සේ වනාහි ‘ගෘහ ශිල්පීන් වන ඔබ විසින් ප්‍රතික්ෂේප කරන ලද ගල ය. එහෙත් උන් වහන්සේ ම ප්‍රධාන ගල වූ සේක.’ 12අන් කිසිවෙකු මඟින් ගැළවීමක් නැත; මන්ද, අපේ ගැළවීම සලසා දෙන ලද අන් කිසි නාමයක් මුළු ලොවෙහි ම මිනිසුන් අතර නැත.”
Responsorial Psalm

ගීතාවලිය 118: 1-2 and 4, 22-24, 25-27a

1සමිඳුන්ට ස්තුති කරන්න. මන්ද, එතුමාණෝ යහපත් ය. එතුමන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය. 2එතුමන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි ඉශ්රායෙල් දැන් කියත් වා! 4සමිඳුන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි එතුමන් කෙරෙහි ගරුබිය ඇත්තෝ දැන් කියත් වා! 22ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම මුල් ගල වී ඇත. 23මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි; එය අපේ දෙනෙතට අසිරිමත් ය. 24මෙන්න, සමිඳුන්ගේ ජය මංගල දිනය! මෙදින අපි ප්‍රීති වමු; සන්තෝෂ වමු. 25සමිඳුනි, දැන් අප ගැළෙවුව මැනව. සමිඳුනි, දැන් අපට ජය අත්කර දුන මැනව. 26සමිඳුන්ගේ නාමයෙන් වඩින තැනැත්තේ ආසිරි ලද්දෙකි. සමිඳුන්ගේ මාලිගාවේ සිට අපි ඔබට ආසිරි පතමු. 27සමිඳාණෝ දෙවිඳාණෝ ය; එතුමාණෝ අපට එළිය දුන් සේක; අතු ගත් අත් ඇති ව පූජාසනය වටා පෙරහරින් ගමන් කරන්න.
Alleluia

ගීතාවලිය 118: 24

24මෙන්න, සමිඳුන්ගේ ජය මංගල දිනය! මෙදින අපි ප්‍රීති වමු; සන්තෝෂ වමු.
Gospel

ශුද්ධ වූ ජොහන් 21: 1-14

1ඉන්පසු ජේසුස් වහන්සේ තිබේරියස් නම් මුහුද ළඟ දී ශ්‍රාවකයන්ට නැවත දර්ශනය වූ සේක. උන් වහන්සේ දර්ශනය වූයේ මේ අයුරින් ය. 2සීමොන් පේදුරු ද ‘නිවුන් දරුවා’ නම් වූ තෝමස් ද ගලීලයේ කානාහි නතානියෙල් ද සෙබදීගේ පුත්‍රයෝ ද උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් තවත් දෙදෙනෙක් ද එක් ව සිටියෝ ය. 3සීමොන් පේදුරු, ”මම මසුන් අල්ලන්න යමි”යි ඔවුන්ට කී ය. ”අපිත් ඔබ සමඟ එමු”යි ඔව්හු ඔහුට කී හ. ඔව්හු පිටත් ව ගොස් ඔරුවට නැංගා හ. එහෙත් ඒ රාත්‍රියේ ඔවුන් කිසිවක් ඇල්ලුවේ නැත. 4පහන් වූ කල ජේසුස් වහන්සේ වෙරළෙහි සිටි සේක. එසේ වුවත්, ඒ ජේසුස් වහන්සේ බව ශ්‍රාවකයෝ නොදත්හ. 5එවිට ජේසුස් වහන්සේ, ”මිත්‍රයෙනි, ඔබ ළඟ මාළු තිබේ දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. ඔව්හු, ”නැතැ”යි කී හ. 6උන් වහන්සේ ඔවුන් අමතමින්, ”ඔරුවේ දකුණු පැත්තෙන් දැල හෙළන්න, එවිට සම්බ වනු ඇතැ”යි වදාළ සේක. එසේ දැල හෙළූ කල, අසුවූ මසුන් රාශිය නිසා දැල ඇද ගන්නට වත් ඔවුන්ට නොහැකි විය. 7ජේසුස් වහන්සේ ප්‍රේම කළ ශ්‍රාවකයා පේදුරුට කතා කොට, ”අන්න, ඒ සමිඳාණන් වහන්සේ ය”යි කී ය. එවිට සීමොන් පේදුරු ඒ සමිඳාණන් වහන්සේ බව අසා, තමා ඉණ රෙද්ද ලිහාදමා සිටි බැවින්, වහා එය ඇඳගෙන මුහුදට පැන්නේ ය. 8එහෙත් සෙසු ශ්‍රාවකයෝ මසුන්ගෙන් පිරුණු දැල ඇදගෙන, කුඩා ඔරුවෙන් ආහ. ඔව්හු වෙරළට නුදුරු ව මීටර් සියයක් පමණ ඈතින් සිටියහ. 9ඔව්හු ගොඩට ආ විට එහි ගිනි අඟුරු ද ඒ පිට මාළු තිබෙන බව ද රොටි ද දුටුවෝ ය. 10ඔබ දැන් ඇල්ලූ මසුන්ගෙන් ස්වල්පයක් ගෙනෙන්නැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ට වදාළ සේක. 11සීමොන් පේදුරු ඔරුවට නැඟී, ලොකු මසුන් එකසිය පණස්තුන් දෙනෙකුගෙන් පිරුණු දැල ගොඩට ඇද්දේ ය. එපමණ තිබුණ නමුත් දැල ඉරුණේ නැත. 12ජේසුස් වහන්සේ කතා කොට, ”එන්න, අනුභව කරන්නැ”යි ඔවුන්ට වදාළ සේක. ඒ සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැන සිටි හෙයින්, ”ඔබ කවුරු දැ”යි උන් වහන්සේගෙන් අසන්නට ශ්‍රාවකයන්ගෙන් කිසිවෙකුට වත් ධෛර්යය නොතිබිණි. 13ජේසුස් වහන්සේ ඇවිත්, රොටි රැගෙන ඔවුන්ට දුන් සේක; එසේ ම මාළුත් දුන් සේක. 14මේ වනාහි ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පසු ශ්‍රාවකයන්ට දර්ශනය වූ තුන් වන වතාව ය.