කියවීම්
2027 අප්‍රේල් 13
Easter Weekday/ Martin I, Pope, Martyr
Martin I, Pope, Martyr
First Reading
ක්‍රියා 7: 51-60
51හිතුවක්කාර, මිසදිටු සිත් හා බිහිරි කන් ඇත්තෙනි, ඔබගේ පියවරුන් මෙන් ඔබත් නිතර ම ශුද්ධාත්මයාණන්ට එරෙහි ව සිටින්නහු ය.
52ඔබගේ පියවරුන් පීඩා නොකළ දිවැසිවරයෙක් ඇද් ද? ඔව්හු ධාර්මිකයාණන්ගේ ආගමනය කල්තියා දැන්වූ අය මරාදැමූ හ. දැන් ඔබ ඒ ධාර්මිකයාණන් පාවා දී මරාදමා ඇත.
53දේව දූතයන් විසින් දෙන ලද ව්‍යවස්ථා ඔබ ලැබූ නමුත් ඒවා නොපිළිපැද්දහු ය.”
54ඔව්හු ඒ අසා, ඔහුට විරුද්ධ ව කෝපයෙන් දිළිහී දත්මිටි කෑහ.
55එහෙත් ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණ ව, ස්වර්ගයට බැල්ම හෙළා, දෙවියන් වහන්සේගේ තේජශ්‍රීයත් උන් වහන්සේගේ දකුණු පැත්තේ ජේසුස් වහන්සේ නැඟිට සිටිනවාත් දැක,
56අන්න, ස්වර්ගය විවර වී ඇත, මනුෂ්‍ය-පුත්‍රයාණන් දෙවියන් වහන්සේගේ දකුණු පස නැඟිට සිටිනවා මට පෙනේ ය”යි කී ය.
57එහෙත් ඔව්හු මහත් ශබ්දයෙන් මොරහඬගසා, තමන්ගේ කන් වසා ගෙන, එක සිතින් ඔහු පිටට කඩා පැන,
58ඔහු නුවරින් පිටතට ඇද ඔහුට ගල් ගැසූ හ. සාක්ෂිකාරයෝ තමන්ගේ ඇඳුම් සාවුල් නම් යෞවනයෙකුගේ පාමුල තැබූ හ.
59ජේසුස් ස්වාමීන් වහන්ස, මාගේ ආත්මය පිළිගත මැනවැ”යි කියා ස්තේපන් යාච්ඤා කරද්දී ඔව්හු ඔහුට ගල් ගැසූ හ.
60ඔහු දණින් වැටී, ”සමිඳාණන් වහන්ස, මේ පාපය ඔවුන් පිට නොතැබුව මැනවැ”යි මහත් හඬින් මොරගසා කී ය. මෙසේ කියා ඔහු සැතපුණේ ය.
Responsorial Psalm
ගීතාවලිය 31: 3cd-4, 6 and 7b and 8a, 17 and 21ab
3ඔබ මාගේ පර්වතය හා බලකොටුව ය. එබැවින් ඔබේ නාමයේ අනුහසින් මට මඟපෙන්වා මා ගෙන ගිය මැනව.
4මා ඇල්ලීමට ඔවුන් සඟවා ඇති දැලෙන් මා බේරාගත මැනව. ඔබ මාගේ රක්ෂස්ථානය ය.
6බොරු දෙවි දේවතාවන් නමදින අයට මම ද්වේෂ කරමි. එහෙත්, මම සමිඳුන් කෙරේ විශ්වාසය තබමි.
7ඔබේ කරුණාව ගැන සතුටු වී උදන් අනමි. ඔබ මාගේ දුක් පීඩා දුටු සේක; ඔබ මාගේ සිත් වේදනා තේරුම් ගත් සේක.
8සතුරා අතේ මා සිර කොට නොතබා, නිදහසේ යන්න එන්න ඔබ මට ඉඩ දුන් සේක.
17මම ඔබට හඬගසමි; මම නින්දාවට පත් නොවෙම් වා! දුදනෝ නින්දාවට පත් වෙත් වා! ඔව්හු නිහඬ ව පාතාලයට යත් වා!
21සමිඳුන් හට ප්‍රශංසා වේ වා! මන්ද, එතුමාණෝ බලකොටු නුවරක දී එතරම් පුදුම ලෙස මට කරුණාව දැක්වූ සේක.
Alleluia
ශුද්ධ වූ ජොහන් 6: 35ab
35ජේසුස් වහන්සේ කතා කොට, ”ජීවනදායක ආහාරය මම ය, මා වෙත පැමිණෙන යමෙක් වේ ද, ඔහුට සාගිනි නොවන්නේ ය. මා අදහන යමෙක් වේ ද, ඔහුට කිසි කලෙකත් පිපාසය නොවන්නේ ය.
Gospel
ශුද්ධ වූ ජොහන් 6: 30-35
30එවිට ඔව්හු, ”එසේ නම්, අප විසින් දැක අදහාගන්නා පිණිස ඔබ කවර හාස්කමක් දක්වන සේක් ද? කවර ක්‍රියාවක් කරන සේක් ද?
31අපේ පියවරු පාළුකරයෙහි දී මන්නා කෑහ. ‘බුදින පිණිස එතුමෝ ඔවුන්ට ස්වර්ගයෙන් ආහාර සැපයූහ’යි ලියා ඇතැ”යි උන් වහන්සේට කී හ.
32එවිට ජේසුස් වහන්සේ, ”ඒකාන්තයෙන් මම ඔබට කියමි, ස්වර්ගයෙන් ඔබට ආහාරය දුන්නේ මෝසෙස් නොවේ; ස්වර්ගයෙන් සැබෑ ආහාරය දෙන්නේ මාගේ පියාණන් වහන්සේ ය.
33මන්ද, දෙවියන් වහන්සේ දෙන ආහාරය වනාහි, ස්වර්ගයෙන් පහළ වී ලෝකයට ජීවනය දෙන ආහාර ය”යි වදාළ සේක.
34ඔව්හු ද, ”ස්වාමීනි, ඒ ආහාරය නිතර ම අපට දුන මැනවැ”යි කී හ.
35ජේසුස් වහන්සේ කතා කොට, ”ජීවනදායක ආහාරය මම ය, මා වෙත පැමිණෙන යමෙක් වේ ද, ඔහුට සාගිනි නොවන්නේ ය. මා අදහන යමෙක් වේ ද, ඔහුට කිසි කලෙකත් පිපාසය නොවන්නේ ය.