මාර්තු 2028

බ්‍ර සි සෙ
1234
567891011
12131415161718
19202122232425
262728293031
අද දිනට

කියවීම්

2028 මාර්තු 30

Lenten Weekday

දවසේ දේව මෙහෙය
First Reading

නික්මයාම 32: 7-14

7සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ”යන්න, හනික කන්දෙන් බසින්න. නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනා නුඹේ සෙනඟ තමන් ම දූෂ්‍ය කරගෙන සිටිති. 8මා ඔවුන්ට අණ කළ මාර්ගයෙන් ඔව්හු ඉක්මනින් බැහැර ගියහ. ඔව්හු වාත්තු කළ වස්සෙකු සාදාගෙන ඊට නමස්කාර කරමින් ද පුද පූජා කරමින් ද, ‘ඉශ්රායෙල්වරුනි, මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා ඔබේ දෙවියෝ මෙන්න’ කිය කියා සිටිති”යි වදාළ සේක. 9තවදුරටත් උන් වහන්සේ මෝසෙස් අමතමින්, ”මේ සෙනඟ මුරණ්ඩු සෙනඟක් බව මට පෙනේ. 10දැන් ඉතින්, මාගේ කෝපාග්නිය ඔවුන්ට විරුද්ධ ව වේගවත් ව ඇවිලෙයි. මම ඔවුන් වනසාලන්නෙමි. එහෙත්, මම නුඹෙන් මහත් ජාතියක් සාදන්නෙමි”යි වදාළ සේක. 11එහෙත්, මෝසෙස් තම දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කරමින්, ”ස්වාමීනි, ඔබ මහත් බලය පාමින් ද ඔබේ බාහු බලයෙන් ද මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ සෙනඟට විරුද්ධ ව ඔබේ උදහස වේගවත් ලෙස අවුළන්නේ මන් ද? 12‘දෙවියන් වහන්සේ ඔවුන් පිටතට ගෙනාවේ දුෂ්ට අදහසකින්, කඳුකරයේ ඔවුන් මරාදමා, මිහි පිටින් ඔවුන් තුරන් කිරීමට ය’යි කීමට මිසර වාසීන්ට ඔබ ඉඩ තබන්නේ මන් ද? ඔබ මේ ඇවිලෙන කෝපාග්නිය නිවාගෙන ඔබේ සෙනඟට විරුද්ධ ව කරන්න යන මේ නපුර ගැන සිත වෙනස් කරගනු මැනව. 13ඔබේ සේවකයන් වූ ආබ්‍රහම්, ඊසාක් සහ ඉශ්රායෙල් සිහි කළ මැනව. ඔබ ඔබේ නාමයෙන් ම දිවුරමින්, ‘අහසේ තරු මෙන් නුඹේ පෙළපත මම වර්ධනය කරන්නෙමි. නුඹට පොරොන්දු වූ මේ දේශය මම මුළුමනින් ම නුඹට දෙන්නෙමි. තවද ඔව්හු එය සදහට ම උරුම කරගන්නෝ ය’යි කියා ඔබ නොවදාළ සේක් දැ”යි විචාළේ ය. 14එවිට සමිඳාණන් වහන්සේ තම සිත වෙනස් කොට සිය සෙනඟට කරන්න අදහස් කළ නපුර අත් හළ සේක.
Responsorial Psalm

ගීතාවලිය 106: 19-20, 21-22, 23

19ඔව්හු හොරෙබ් කන්දෙහි වස්සෙකු සාදා වාත්තු රූපයකට නමස්කාර කළෝ ය. 20මෙසේ ඔව්හු, දෙවිඳුන්ගේ මහිමය තණ බුදින ගවයෙකුගේ ස්වරූපයට වෙනස් කළෝ ය. 21මිසරයේ දී බලවත් ක්‍රියා කර, ඔවුන් ගළවාගත් දෙවිඳුන් ඔව්හු අමතක කළෝ ය. 22එතුමාණෝ, ඒ දේශයේ දී අරුමපුදුම ක්‍රියා ද රතු මුහුද ළඟ බියකරු ක්‍රියා ද කළ තැනැන් වහන්සේ නොවන සේක් ද? 23එබැවින් එතුමාණෝ ඔවුන් විනාශ කරන බව වදාළ සේක. එහෙත්, එතුමාණන් ඔවුන් විනාශ නොකරන ලෙස, දේව උදහස පහකරන පිණිස, එතුමාණන් තෝරාගත් මෝසෙස් එතුමාණන් ඉදිරියේ මැදහත් වූයේ ය. දේව කෝපයෙන් ඔවුන් විනාශ කිරීම වැළැක්විය.
Verse Before the Gospel

ශුද්ධ වූ ජොහන් 3: 16

16දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය.
Gospel

ශුද්ධ වූ ජොහන් 5: 31-47

31මම, මා ගැන ම සාක්ෂි දෙන්නෙම් නම්, මාගේ සාක්ෂිය සැබෑ නොවේ. 32එහෙත්, මා ගැන සාක්ෂි දරන වෙන කෙනෙක් වෙති. උන් වහන්සේ මා ගැන දරන සාක්ෂිය සැබෑ බව මම දනිමි. 33ඔබ ජොහන් වෙත මිනිසුන් යැව්වහු ය. ඔහු සත්‍යය පිළිබඳ සාක්ෂිය දරා ඇත. 34එහෙත්, මා මේ දේ ඔබට කියන්නේ, මිනිසාගෙන් සාක්ෂියක් ලබන පිණිස නොව, ඔබ ගැළවීම ලබන පිණිස ය. 35ජොහන් වනාහි, දිළෙන, බැබළෙන පහනක් විය. ඔබ කලක් ඔහුගේ ආලෝකයෙහි ප්‍රමුදිත වන්නට කැමැති වූවහු ය. 36එහෙත් මට ඇති සාක්ෂිය ජොහන්ගේ සාක්ෂියට වඩා උතුම් එකකි. මන්ද, මා විසින් පරිපූර්ණ කරනු ලබන පිණිස පියාණන් වහන්සේ මට පැවරූ කටයුතු, එනම්, මා කරන කටයුතු ම, පියාණන් වහන්සේ මා එවා වදාළ බවට සාක්ෂි වෙයි. 37තවද, මා එවා වදාළ පියාණන් වහන්සේ ම මා පිළිබඳව සාක්ෂි දරා ඇත. උන් වහන්සේගේ හඬ කිසි කලෙක ඔබ අසා නැත. ස්වරූපය ද දැක නැත. 38තවද, උන් වහන්සේගේ වචනය ඔබ තුළ නිදන්ගත වී නැත. මන්ද, ඔබ උන් වහන්සේ එවා වදාළ තැනැන් වහන්සේ විශ්වාස නොකරන බැවිනි. 39ඔබ ශුද්ධ ලියවිල්ල හදාරන්නහු ය. එසේ කරන්නේ, ඒවායෙහි ඔබට සදාතන ජීවනය ඇතැ යි ඔබ සිතන බැවිනි. ඒවා ම මා ගැන සාක්ෂි දරන්නේ ය. 40එහෙත්, ජීවනය ලබන පිණිස මා වෙතට එන්නට ඔබ කැමැති නොවන්නහු ය. 41මම මිනිසුන්ගෙන් ගෞරවය නොසොයමි. 42එහෙත් මම ඔබ හොඳින් අඳුනමි. ඔබ තුළ දෙවියන් වහන්සේගේ ප්‍රේමය නොමැති බව මම දනිමි. 43මම මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් පැමිණියෙමි. එහෙත්, ඔබ මා නොපිළිගන්නහු ය. වෙන තැනැත්තෙකු තමාගේ ම නාමයෙන් පැමිණියහොත්, ඔබ ඔහු පිළිගනු ඇත. 44එක ම දෙවියන් වහන්සේගේ ගෞරවය නොසොයන, එකිනෙකාගෙන් ගෞරව ලබන්නට ප්‍රිය කරන ඔබ, අදහාගන්නේ කෙසේ ද? 45ඔබට විරුද්ධ ව මම පියාණන් වහන්සේට චෝදනා කරන්නෙමි යි නො සිතන්න. ඔබට විරුද්ධ ව චෝදනා කරන්නෙක් ඇත; එනම්, මෝසෙස් ය. ඔබේ බලාපොරොත්තුව ඔබ තබා ඇත්තේ ඔහු පිට ය. 46ඔබ මෝසෙස් විශ්වාස කළාහු නම්, මා ද විශ්වාස කරන්නහු ය. මන්ද, මෝසෙස් මා ගැන ලියූ බැවිනි. 47ඔබ මෝසෙස්ගේ ලියවිලි විශ්වාස නොකරන්නහු නම්, මාගේ වචන විශ්වාස කරන්නේ කෙසේ ද?”