කියවීම්
2026 සැප්තැම්බර් 17
Thursday of the Twenty-fourth Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
1 කොරින්ති 15:1-11
1තවද, සහෝදරවරුනි, මා ඔබට දේශනා කළ සුබ අස්න වෙත ඔබගේ අවධානය දැන් යොමු කරනු කැමැත්තෙමි. ඔබ එය පිළිගත්තහු ය; එහි පිහිටා සිටින්නහු ය.
2ඒ මඟින් ඔබ ගැළවීම ලබන්නහු ය. එසේ වන්නේ මා ඔබට දෙසූ ලෙස ම, ඒ සුබ අස්න නිසැක ව පිළිගෙන, එය නිෂ්ඵල නොවන ලෙස විශ්වාස කළොත් පමණකි.
3මා ඔබට බාර දුන්නේ මා ලබාගත් දෙය ම බව ප්‍රධාන කොට කිව යුතු ය. එනම් ශුද්ධ ලියවිල්ල ප්‍රකාර ක්‍රිස්තුන් වහන්සේ අපගේ පාප උදෙසා මළ බවත්,
4වළලනු ලැබූ බවත්, ශුද්ධ ලියවිලි ප්‍රකාර තුන් වන දා උත්ථාන කරනු ලැබූ බවත්,
5කේපස්ට හා පසුව දොළොස් දෙනාට දර්ශනය වූ බවත් ය.
6ඉන්පසු උන් වහන්සේ පන් සියයකට වැඩි සහෝදර සමූහයකට එක විට ම දර්ශනය වූ සේක. මොවුන්ගෙන් සමහරුන් මියගිය ද, වැඩි දෙනා තවමත් ජීවත් ව සිටිති.
7ඉන්පසු උන් වහන්සේ ජාකොබ්ට ද අනතුරුව සියලු ප්‍රේරිතයන්ට ද දර්ශනය වූ සේක.
8අවසන් වශයෙන් අකලට උපන්නෙකු වැනි මට ද උන් වහන්සේ දර්ශනය වූ සේක.
9මන්ද, මම ප්‍රේරිතවරයන්ගෙන් ඉතා සුළු තැනැත්තා ය. දෙවියන් වහන්සේගේ සභාවට පීඩා කළ බැවින් ප්‍රේරිතයෙකැ යි කියනු ලබන්නට වත් මම නොවටිමි.
10එහෙත් මම යම් තත්ත්වයකට පැමිණ සිටිම් ද, එසේ පැමිණ සිටින්නේ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් ය. උන් වහන්සේ මට දුන් වරප්‍රසාදය නිෂ්ඵල නො වී ය. ඇත්තට ම මම ඔවුන් සියල්ලන්ට ම වඩා බොහෝ සෙයින් වැඩ කෙළෙමි. එහෙත් එසේ කෙළේ මා නොව මා තුළ වූ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ය.
11එබැවින් මා වේවා, ඔවුන් වේවා, අප දේශනා කරන්නේ එක ම පණිවුඩය යි. ඔබ එය අදහාගත්තහු ය.
Responsorial Psalm
ගීතාවලිය 118:1-2, 16-17, 28
1සමිඳුන්ට ස්තුති කරන්න. මන්ද, එතුමාණෝ යහපත් ය. එතුමන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය.
2එතුමන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි ඉශ්රායෙල් දැන් කියත් වා!
16සමිඳුන්ගේ බාහු බලය උදාර ය. සමිඳුන්ගේ බාහු බලය විකුම් දක්වයි.
17මම නොනැසී, ජීවත් ව සිටින්නෙමි; සමිඳුන්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෙමි.
28ඔබ මාගේ දෙවිඳාණෝ ය; මම ඔබට ස්තුති කරන්නෙමි. ඔබ මාගේ දෙවිඳාණෝ ය; මම ඔබට උස් හඬින් පැසසුම් ගී ගයන්නෙමි.
Alleluia
ශුද්ධ වූ මතෙව් 11:28
28වෙහෙස වන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න; මම ඔබට සහනය දෙමි.
Gospel
ශුද්ධ වූ ලූක් 7:36-50
36එක් පරිසිවරයෙක් තමා සමඟ ආහාර වළඳන පිණිස ජේසුස් වහන්සේට ආරාධනා කෙළේ ය. උන් වහන්සේ පරිසිවරයාගේ ගෙදරට වැඩම කර, කෑමට හිඳගත් සේක.
37ඒ නුවර විසූ පව්කාර ස්ත්‍රියක් උන් වහන්සේ පරිසිවරයාගේ ගෙදර කෑමට වැඩහුන් බව දැන, සුවඳ විලවුන් පිරුණු කිරිගරුඬ කරඬුවක් රැගෙන එතැනට ආවා ය.
38ඈ උන් වහන්සේ පිටිපසින් පාමුල සිට හඬ හඬා, උන් වහන්සේගේ පාද කඳුළෙන් තෙමන්ට පටන්ගෙන, ඇගේ හිසකේවලින් පිසදමා, උන් වහන්සේගේ පාද සිඹ, සුවඳ විලේපනයෙන් ආලේප කළා ය.
39උන් වහන්සේට ආරාධනා කළ පරිසිවරයා ඒ දැක: ”මොහු දිවැසිවරයෙක් නම් තමාගේ ඇඟට අත තබන මේ පව්කාර ස්ත්‍රිය කවර තැනැත්තියක් ද කෙබඳු අඟනක් ද කියා දැනගනු ඇතැ”යි සිය සිතින් සිතුවේ ය.
40ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”සීමොන්, ඔබට කිය යුතු කරුණක් ඇතැ”යි වදාළ සේක. ඔහු ද, ”ගුරුදේවයෙනි, වදාළ මැනවැ”යි කී ය.
41උන් වහන්සේ කතා කොට, ”මුදල් ණයට දෙන එක්තරා මිනිසෙකුට ණයකාරයෝ දෙදෙනෙක් සිටියහ. එක් කෙනෙක් රිදී කාසි පන් සියයක් ද, අනිත් තැනැත්තා පණසක් ද ණය ව සිටියෝ ය.
42ණය ගෙවීමට ඔවුන්ට කිසි වත්කමක් නැති වූයෙන් ඔහු ඒ දෙදෙනාට ම කමා කෙළේ ය. එබැවින් ඒ දෙදෙනාගෙන් කවරෙක් ඔහුට වැඩියෙන් ප්‍රේම කරනු ඇද්දැ”යි ඇසූ සේක.
43සීමොන් උත්තර දෙමින්, ”ඔහු, යමෙකුට වැඩියෙන් කමා වූයේ ද, ඒ තැනැත්තා යයි මම සිතමි”යි කී ය. එවිට උන් වහන්සේ, ”ඔබේ පිළිතුර හරි ය”යි ඔහුට කියා,
44ස්ත්‍රිය දෙසට හැරී, සීමොන්ට කතා කොට, ”මේ ස්ත්‍රිය ඔබට පෙනෙනවා නොවේ ද? මම ඔබේ ගෙදරට ඇතුළු වුණෙමි, ඔබ මාගේ පාද සේදීමට වතුර නුදුන්නෙහි ය. එහෙත් මෑ සිය කඳුලින් මාගේ පාද තෙමා සිය හිසකේවලින් ඒවා පිසදැමුවා ය.
45ඔබ මා සිම්බේ නැත. එහෙත්, මෑ මා ආවේලේ පටන් මාගේ පාද සිඹීම නතර නොකළා ය.
46ඔබ මාගේ හිස තෙලින් ආලේප නොකෙළෙහි ය. එහෙත්, මෑ මාගේ පාද සුවඳ විලේපනයෙන් ආලේප කළා ය.
47එබැවින් මම ඔබට කියමි, ඇගේ බොහෝ වූ පව් ඇයට කමා කරන ලද බව ඈ මට දැක් වූ ඇගේ ඉමහත් ප්‍රේමයෙන් ඔප්පු වේ. එහෙත්, යමෙකුට ස්වල්ප වශයෙන් කමා කරනු ඇද්ද, ඔහු ස්වල්ප වශයෙන් ප්‍රේමය දක්වනු ඇතැ”යි වදාළ සේක.
48එවිට උන් වහන්සේ, ”ඔබේ පව් ඔබට කමා කරන ලදැ”යි ඇයට වදාළ සේක.
49උන් වහන්සේ සමඟ කෑමට සිටි අය, ”පව් කමාව පවා දෙන මොහු කවරෙක් දැ”යි තම තමන් අතර විමසූ හ.
50එහෙත් උන් වහන්සේ, ”ඔබේ ඇදහිල්ල ඔබට ගැළවීම ගෙන දුන්නේ ය, ශාන්ති සිතින් යන්නැ”යි ඒ ස්ත්‍රියට වදාළ සේක.