කියවීම්
2028 සැප්තැම්බර් 17
Twenty-Fourth Sunday in Ordinary Time
දවසේ දේව මෙහෙය
First Reading
නික්මයාම 32: 7-11, 13-14
7සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ”යන්න, හනික කන්දෙන් බසින්න. නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනා නුඹේ සෙනඟ තමන් ම දූෂ්‍ය කරගෙන සිටිති.
8මා ඔවුන්ට අණ කළ මාර්ගයෙන් ඔව්හු ඉක්මනින් බැහැර ගියහ. ඔව්හු වාත්තු කළ වස්සෙකු සාදාගෙන ඊට නමස්කාර කරමින් ද පුද පූජා කරමින් ද, ‘ඉශ්රායෙල්වරුනි, මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා ඔබේ දෙවියෝ මෙන්න’ කිය කියා සිටිති”යි වදාළ සේක.
9තවදුරටත් උන් වහන්සේ මෝසෙස් අමතමින්, ”මේ සෙනඟ මුරණ්ඩු සෙනඟක් බව මට පෙනේ.
10දැන් ඉතින්, මාගේ කෝපාග්නිය ඔවුන්ට විරුද්ධ ව වේගවත් ව ඇවිලෙයි. මම ඔවුන් වනසාලන්නෙමි. එහෙත්, මම නුඹෙන් මහත් ජාතියක් සාදන්නෙමි”යි වදාළ සේක.
11එහෙත්, මෝසෙස් තම දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කරමින්, ”ස්වාමීනි, ඔබ මහත් බලය පාමින් ද ඔබේ බාහු බලයෙන් ද මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ සෙනඟට විරුද්ධ ව ඔබේ උදහස වේගවත් ලෙස අවුළන්නේ මන් ද?
13ඔබේ සේවකයන් වූ ආබ්‍රහම්, ඊසාක් සහ ඉශ්රායෙල් සිහි කළ මැනව. ඔබ ඔබේ නාමයෙන් ම දිවුරමින්, ‘අහසේ තරු මෙන් නුඹේ පෙළපත මම වර්ධනය කරන්නෙමි. නුඹට පොරොන්දු වූ මේ දේශය මම මුළුමනින් ම නුඹට දෙන්නෙමි. තවද ඔව්හු එය සදහට ම උරුම කරගන්නෝ ය’යි කියා ඔබ නොවදාළ සේක් දැ”යි විචාළේ ය.
14එවිට සමිඳාණන් වහන්සේ තම සිත වෙනස් කොට සිය සෙනඟට කරන්න අදහස් කළ නපුර අත් හළ සේක.
Responsorial Psalm
ගීතාවලිය 51: 3-4, 12-13, 17, 19
3මාගේ අපරාධ මම මැනැවින් දනිමි. දිවා රෑ දෙක්හි මාගේ පාප මට සිහි වේ.
4ඔබට විරුද්ධ ව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කෙළෙමි; ඔබ හමුවෙහි මම නපුර කෙළෙමි. එබැවින් ඔබේ තීන්දුව සාධාරණ ය; ඔබේ විනිශ්චය යුක්ති සහගත ය.
12විමුක්තියේ ප්‍රීතිය මට යළි දුන මැනව; අවනත සිතක් දී මා දැරුව මැනව.
13එවිට මම අපරාධකරුවන්ට ඔබ මඟ පහදා දෙන්නෙමි; පව්කරුවන් ඔබ වෙත හරවාගෙන එන්නෙමි.
17දෙවිඳුන් ප්‍රිය පඬුර නම්, බිඳුණු හදවතකි. දෙවිඳුනි, ඔබ තැළුණුබිඳුණු සිතක් ඉවත නොදමන සේක.
19එකල, දවන යාග පූජා වන නියමිත පඬුරුවලට ඔබ ප්‍රිය වන සේක. එවිට ඔබේ පුදසුන මත ඔව්හු ගව පූජා පුදන්නෝ ය.
Second Reading
1 තිමෝති 1: 12-17
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Alleluia
2 කොරින්ති 5: 19
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Gospel
ශුද්ධ වූ ලූක් 15: 1-32
1එක් දිනක් සියලු අයකැමියෝ ද පව්කාරයෝ ද ජේසුස් වහන්සේට සවන් දෙන පිණිස උන් වහන්සේ සමීපයට ආහ.
2පරිසිවරු ද විනයධරයෝ ද කතා කොට, ”මොහු පව්කාරයන් පිළිගෙන ඔවුන් සමඟ කන්නේ ය, බොන්නේ ය”යි මැසිවිලි කීවෝ ය.
3එවිට උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක:
4ඔබ අතුරෙන් බැටළුවන් සියයක් ඇති කවර මනුෂ්‍යයෙක්, උන්ගෙන් එකෙකු නැති වුවහොත්, අනූ නව දෙනා පාළුකරයෙහි හැරදමා, නැති වූ එකා පසුපස්සේ ගොස්, ඌ සම්බ වන තුරු සොයන්නේ නැද් ද?
5ඒ බැටළුවා සම්බ වූ විට ඔහු ප්‍රීති වෙමින්, ඌ කර තබාගෙන,
6ගෙදර අවුත් මිතුරන් ද අසල්වැසියන් ද කැඳවා, ‘මා සමඟ ප්‍රීති වන්න, මාගේ නැති වූ බැටළුවා සම්බ වී ය’යි ඔවුන්ට කියයි.
7එලෙස ම පසුතැවී සිත් හරවා ගැනීමට වුවමනා ව නැතැ යි සිතන සිල්වතුන් අනූ නව දෙනෙකුට වඩා පසුතැවී සිත හරවා ගන්න එක පව්කාරයකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය ඇති වන්නේ ය යි මම ඔබට කියමි.”
8තවද උන් වහන්සේ මෙසේ වදාළ සේක: ”රිදී කාසි දසයක් ඇති කවර ස්ත්‍රියක හෝ ඉන් එකක් නැති වුවහොත් පහනක් දල්වා, ගෙය අතුගා, එය සම්බ වන තුරු අස්සක් මුල්ලක් නෑර ඕනෑකමින් සොයන්නේ නැද් ද?
9එය සම්බ වූ විට ඈ මිතුරන් ද අසල්වැසියන් ද කැඳවා, ‘මා සමඟ ප්‍රීති වන්න; මාගේ නැති වූ රිදී කාසිය සම්බ වී ය’යි ඔවුන්ට කියන්නී ය.
10එලෙස ම පසුතැවී සිත හරවා ගන්නා වූ එක පව්කාරයකු ගැන දෙවියන් වහන්සේගේ දූතයන් අතර ප්‍රීතිය ඇති වන්නේ ය යි මම ඔබට කියමි.”
11තවද උන් වහන්සේ මෙසේ වදාළ සේක: ”එක් මනුෂ්‍යයෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝ ය.
12ඔවුන්ගෙන් බාලයා, ‘පියාණෙනි, ඔබගේ දේපළවලින් මට අයිති කොටස දුන මැනවැ’යි පියාට කී ය. එවිට ඔහු තමාගේ දේපළ ඔවුන් අතර බෙදා දුන්නේ ය.
13නොබෝ දිනකට පසු බාල පුත්‍රයා සියල්ල එකතු කොටගෙන, දුර රටකට ගොස්, එහිදී දුරාචාරයෙහි යෙදෙමින්, තමාගේ සම්පත නාස්ති කරදැමී ය.
14සියල්ල වියදම් කළ පසු, ඒ රටේ මහත් සාගතයක් ඇති වූයෙන් ඔහුට අග හිඟකම් දැනෙන්න විය.
15එවිට ඔහු ගොස් ඒ රටේ පුරවැසියෙකුට අතවැසි වී ය; ඒ පුරවැසියා ඌරන් බලන පිණිස තමාගේ ගොවිපළට ඔහු යැවී ය.
16ඌරන් කන කරල්වලින් වුව ද තමාගේ කුස පුරවාගන්න ඔහු කැමැති විය. කිසිවෙක් ඔහුට කිසිවක් නොදුන්නෝ ය.
17එවිට ඔහු හරි සිහි කල්පනාවට පැමිණ; මාගේ පියාගේ කුලීකාරයන් එපමණ දෙනෙකුට ඕනෑ පමණටත් වඩා කෑම තිබේ. එහෙත් මම මෙහි සාගින්නෙන් නසිමි!
18මම නැඟිට මාගේ පියාණන් වෙත ගොස්, ‘පියාණෙනි, දෙවියන් වහන්සේට විරුද්ධ ව ද ඔබට විරුද්ධ ව ද පව් කෙළෙමි.
19මින් මතු ඔබගේ පුත්‍රයා යයි කියනු ලබන්න නොවටිමි. ඔබගේ කුලීකාරයන්ගෙන් එකෙකු මෙන් මා තබාගත මැනවැ යි ඔහුට කියන්නෙමි’යි සිතා,
20පිටත් ව, තම පියා වෙත ගියේ ය. ඔහුගේ පියා දුරතියා ම ඔහු දැක, අනුකම්පාවෙන් ඇලළී දුව ගොස්, දෑතින් ඔහුගේ ගෙළ වැළඳ, සිපගත්තේ ය.
21එවිට පුත්‍රයා ඔහුට කතා කොට, ‘පියාණෙනි, දෙවියන් වහන්සේට විරුද්ධ ව ද ඔබට විරුද්ධ ව ද මම පව් කෙළෙමි. මින් මතු ඔබගේ පුත්‍රයා යයි කියනු ලබන්නට නොවටිමි’යි කී ය.
22එහෙත් පියා සිය මෙහෙකරුවන් කැඳවා, ‘වහා හොඳ ම සළුව ගෙනැවිත් මොහුට අඳවන්න; මොහුගේ ඇඟිල්ලෙහි මුදුවක් පළඳවා පාදවල වහන් ද දමන්න;
23තර කළ වස්සා ගෙනැවිත් මරන්න; අපි කා බී ප්‍රීති ප්‍රමෝද වෙමු.
24මන්ද, මේ මාගේ පුත්‍රයා මැරී සිට යළි ජීවත් ව සිටියි; නැතිවී සිට සම්බ වී ය’යි කී ය. එවිට ඔව්හු ප්‍රීති ප්‍රමෝද වන්න පටන්ගත්හ.
25ඔහුගේ වැඩිමල් පුත්‍රයා ගොවිපළට ගොස් සිටියේ ය. ඔහු පෙරළා එන්නේ ගෙදරට ළං වූ කල, නැටුම් ගැයුම් වැයුම් හඬ අසා,
26දාසයන්ගෙන් එක් කෙනෙකුට අඬගසා, ‘මෙහි තේරුම කිමෙක් දැ’යි විචාළේ ය.
27ඔහු ද, ‘ඔබේ සහෝදරයා ඇවිත් සිටියි; ඔබේ පියා ඔහු සුවසේ ආපසු ලත් බැවින්, තර කළ වස්සා මැරෙව්වේ ය’යි කී ය.
28එහෙත් ඔහු කිපී, ගෙට ඇතුළු වන්නට වත් නොකැමැති විය. එබැවින් ඔහුගේ පියා පිටතට අවුත්, ඇතුළට එන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියේ ය.
29ඔහු උත්තර දෙමින්, ‘මෙපමණ අවුරුදු ගණනක් මුළුල්ලේ මම ඔබට සේවය කරමින් සිටියෙමි; කවදාවත් ඔබගේ නියමයන් කඩ නොකෙළෙමි. එසේ වුවත් මාගේ මිතුරන් සමඟ ප්‍රීති වන්නට ඔබ එක එළු පැටවෙකු පමණ වත් කිසි කලක මට නුදුන්නෙහි ය.
30එහෙත්, ඔබගේ මුළු වත්කම පරස්ත්‍රීන් සමඟ නැති නාස්ති කළ මේ ඔබගේ පුතා ආ හැටියේ ම, ඔහු නිසා තර කළ වස්සා මැරෙව්වෙහි ය’යි පියාට කී ය.
31ඔහු ද පිළිතුරු දෙමින්, ‘පුතේ, ඔබ නිතොර ම මා සමඟ ය, මා සතු සියල්ල ඔබ සතු ය.
32අප ප්‍රීති සන්තෝෂ විය යුතු ම ය. මන්ද, මේ ඔබේ මල්ලී මැරී සිටි නමුත් නැවත ජීවත් ව සිටි’ ”යි; නැති වී සිටි නමුත් නැවත සම්බ වී ය’යි කීයේ ය.