ජෝබ් 26

පෙර මීළඟ
1එකල ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය: 2අසරණ මෙමා හට ඔබ දිරිය දුන් හැටි හරි කදිම යි! මාගේ දුබල අතට වීරිය දුන් හැටි හරි අගෙයි! 3අනුවණ කෙනෙකුට ඔවා වදන් දී, හරි අවබෝධය ගෙන දුන් හැටි අනේ යස යි! 4ඔබ ඔය දිග හෑල්ල කීවේ කාට ද? එය පැවසීමට වරම් ලැබුවේ කාගෙන් ද?” 5බිල්දද් මෙසේ කී ය: ”පාතාල ලෝකය වෙවුළා යයි; එහි වැසියෝ බියෙන් කම්පිත වෙති. 6පාතාල ලෝකය දෙවිඳුන් අබිමුව විවර වී ඇත; දෙවි බැල්මෙන් එය මුවා කිරීමට වැස්මක් නැත. 7දෙවි තුමාණෝ උතුරු දිග අහස විහිදුවා හළ සේක. හිස් අවකාශයෙහි පොළොව එල්ලා තබන සේක. 8එතුමාණෝ වලාකුළුවල වතුර පුරවා තබන සේක; එහි බරෙන් වලාකුළු පුපුරන්නට ඉඩ නොදෙන සේක. 9එතුමාණෝ සඳ මඬල ආවරණය කරන සේක; එය මත වලාකුළු විහිදුවන සේක. 10එළිය අඳුරෙන් වෙන් කරන සීමාවෙහි සමුදුර මත නිම් වළල්ල අඳින සේක. 11එතුමන්ගේ තර්ජන අසා, අහස උසුලා සිටින කණු බියෙන් වෙවුළා තැති ගනියි. 12එතුමාණෝ සිය බලවත් බාහුවෙන් දස්කම් පා දිය රකුසා දෙබෑ කළ සේක; සත් සමුදුර නිසල කළ සේක. 13එතුමන්ගේ හුස්මෙන් අහස පිවිතුරු වෙයි. එතුමන්ගේ බාහුව පලා යන දිය රකුසා දෙබෑ කරයි. 14මේ එතුමන්ගේ තෙද විකුමෙන් බිඳක් පමණි; එතුමන් ගැන අපට ඇසෙන්නේ සිහින් රාවයක් පමණි; එතුමන්ගේ වීර වික්‍රම ගිගුරුම් හඬ තේරුම්ගත හැකි කාට ද?”