ජෝබ් 3

පෙර මීළඟ
1ඉන්පසු මේ තාක් නිහඬ ව සිටි ජෝබ් තමා උපන් දිනයට සාප කරගනිමින් 2මෙසේ කී ය: 3මා උපන් දිනයට සාප වේ වා! මා වැනි පිරිමි දරුවෙකු පිළිසිඳ ගත් රාත්‍රියට සාප වේ වා! 4ඒ දවස අඳුරෙන් වැසේ වා! සගලොව දෙවිඳාණෝ එය නොතකා හරිත් වා! අරුණලු එහි නොදිළේ වා! 5ඒ දවස, ගන’ඳුරින් හා තද කළු වැහි පටලින් වැසීයේ වා! හිරු මඬල ද මැකීයේ වා! 6ඒ රාත්‍රිය, ගන’ඳුරින් වැසීයේ වා! අවුරුද්දේ දවස්වලත්, මාසයේ දවස්වලත් එය මකා දමනු ලැබේ වා! 7එවන් රැයක, වෙන දරු උපතක් සිදු නො වේ වා! සතොස වඩන කිසි හඬකුත් නො වේ වා! 8මුහුදු සතුන්, දිය රකුසන්, මන්ත්‍ර බලයෙන් මැඬලන අය එදිනට සාප කරත් වා! 9ඒ දවස හිරු බැස යන කල අහසෙහි තරු නොදිළේ වා! එළිය ලැබෙන පැතුම සුන් වේ වා! අරුණලු උදා නො වේ වා! 10මේ සියල්ල, මෙසේ සිදු විය යුත්තේ, මවු කුසෙන් මා බිහි වී දුක දැක්මෙන් මා නොවැළැක් වූ බැවිනි. 11මවු කුසේ දී ම මා නොමළේ මන් ද? කුසෙන් නික්ම ආ විගස ම මාගේ පණ නොගියේ මන් ද? 12මවු තුරුල්ලට මා පිළිගත්තේ කුමට ද? මවගේ ළයෙහි මව් කිරි මට පෙව්වේ කුමට ද? 13මම් එසේ මළෙම් නම්, දැන් නිසංසල ව මිනීවළෙහි මට ඉන්න තිබිණි; කරදරයක් කිසිත් නැති ව මරණ නින්දට යන්න තිබිණි. 14එසේ වී නම්, නැති වී යන රාජ මාලිගා ඉදි කළ නිරිඳුන් සහ ඇමතිවරුන් සමඟ මටත් සැතපෙන්නට තිබිණි. 15සිය මැදුරු රන් රිදීයෙන් පුරවාගත් කුමරුන් සමඟ ද මට සැතපෙන්නට තිබිණි. 16මෙලොව එළිය නුදුටු දරුවන් මෙන් ගබ්සා වී මා මිය නොගියේ මන් ද? 17සොහොනෙහි පවිටු දනන් තම පව්කම් නිම කර ඇත; වෙහෙසට පත් කම්කරු දනන් සිය වෙහෙසින් තොර වී ඇත. 18සිරකරුවන් හට සොහොනෙහි සාමය ඇත; අණ දෙන නිලධාරීන්ගේ කට හඬ දැන් ඇසෙන්නේ නැත. 19සොහොන් ගැබ තුළ ලොකු කුඩා සියල්ලෝ එක හා සමාන ය; වහලා තම ස්වාමියාගෙන් නිදහස් ය. 20එතුමා දුකින් සිටින අයට එළිය දෙන්නේ මන් ද? සොවින් පෙළෙන අයට දිවි දෙන්නේ මන් ද? 21ඔව්හු මරු එන තුරු බලා සිටිති; එහෙත්, මරු එන්නේ නැත. අන් සැම සම්පතට වඩා ඔව්හු සොහොන අගේ කරති. 22සොහොනට යෑම ඔවුන්ට සතුටකි; මිනීවළට යන විට ඔව්හු ප්‍රිය හඬ දෙති. 23දෙවි තුමන් හැම අතින් ම හිර කර සිටින, තමා යා යුතු මඟ නොපෙනෙන මිනිසා උපත ලැබුවේ මන් ද? 24මාගේ ආහාරය සුසුම් කඳුළු පමණකි; මාගේ කෙඳිරිගෑම, ගලා බසින දිය දහරකි. 25මා බියජනක දේ මට පැමිණ ඇත. මා තැති ගන්වන හැම දේ මා පිට වැටී ඇත. 26මාගේ සිතට ශාන්තියක්, සැනසිල්ලක් කොහෙත් ම නැත; මාගේ දුකට අවසානයක් ඇත්තේ ම නැත.”