ජෝබ් 39

පෙර මීළඟ
1පර්වතවල සිටින වල් එළුවන් පැටව් ගසන කාලය නුඹ දන්නෙහි ද? නොහොත් මුව දෙනුන්ගේ ප්‍රසූත වේලාව නුඹට දැනගත හැකි ද? 2උන් ගැබ් ගෙන සිටින මාස ගණන් කරන්නට නුඹට පුළුවන් ද? උන් පැටව් ගසන කාලය නුඹ දන්නෙහි ද? 3උන් නැඹුරු වී පැටවුන් බිහි කොට විළි රුදා පහ කරගන්න කාලය නුඹ දන්නෙහි ද? 4උන්ගේ පැටව් වනයේ වැඩී, ලොකු වී, ශක්තිමත් වී පිට වී යති. යළි ආපසු නොඑති. 5වල් කොටළුවාට නිදහස දානය කෙළේත්, උගේ බැඳුම් ලිහා මුදා හැරියේත් කවරෙක් ද? 6මම පාළුකරය ඌට ගෙයක් කොට, ලේවාය ඌට තිප්පලක් කොට නියම කෙළෙමි. 7ඌ නගරයේ ඝෝෂාව ගණන් නොගනියි. ඌ රියැදුරාගේ කෑගැසීම නොසලකයි. 8කඳුකරය උගේ ගොදුරු බිම වේ; කෑම පිණිස ඌ හැම පලා ජාති සොයා යයි. 9කුළු හරකා නුඹට වැඩ කරන්නට කැමැති වේ ද? ඌ රැයෙහි නුඹේ ගාලෙහි ලගිනු ඇද් ද? 10කුළු හරකා ලණුවකින් හීවිටේ බඳින්නට නුඹට හැකි ද? නොහොත් නුඹට පිටුපසින් ඌ කුඹුර පෝරු ගානු ඇද් ද? 11උගේ ශක්තිය මහත් බැවින්, නුඹ ඌ විශ්වාස කර, නුඹේ බර වැඩ ඌට බාර දෙන්නෙහි ද? 12නුඹේ අස්වැන්න කමතට රැස්කර ගෙනෙනු ඇතැ යි නුඹ ඌ කෙරෙහි විශ්වාසයක් තබන්නෙහි ද? 13පැස්බරාගේ පියාපත් වැනෙන වේගය කදිමයි. එහෙත්, පැස්බරාට කණ කොකා මෙන් පියාඹන්නට නොහැකි ය. 14ඌ පොළොවෙහි බිජු දමා, පසෙහි තාපයෙන් ඒවා උණුසුම් වීමට තබයි. 15එහෙත්, ඒවා පයට පෑගෙන්නටත්, වන සතුන්ගේ පාදවලට පොඩි වන්නටත් පුළුවන් බව අමතක කරයි. 16උගේ පැටවුන් ඌට අයිති නැතිවාක් මෙන් ඌ දැඩි සිතින් උන්ට සලකයි. උගේ මහන්සිය නිෂ්ඵල වුව ද, එය ගණන් ගන්නේ නැත. 17දෙවිඳාණෝ උගෙන් ප්‍රඥාව වළක්වා, ඌට නැණ නුවණ නො දී හැරිය සේක. 18ඌ පියාපත් විදහා දුවන කල ඌ අසුටත්, අසරුවාටත් සිනාසෙයි. 19ජෝබ්, අසුට වෙර වීරිය දුන්නේ නුඹ ද? ලෙල දෙන කෙසරු උගේ ගෙලෙහි පැළඳෙව්වේ නුඹ ද? 20උගේ හේෂාරවයෙන් මිනිසුන් බියගන්වා, පළඟැටියෙකු මෙන් පැන පැන යන්න ඌට සැලැස්සුවේ නුඹ ද? 21ඌ මිටියාවතෙහි කුර ගසා, ශක්තියෙන් ඔද වැඩී දුවමින් යුද සේනාවලට මුහුණ දෙයි. 22ඌ භීතියට සරදම් කොට තැති නොගෙන සිටියි. කඩුපතට පිටුපා නොයයි. 23හී කොපුව ද දිළිසෙන හෙල්ලය ද කුඩා හෙල්ලය ද උගේ ඇඟේ වැදී දෝංකාර දෙයි. 24උද්‍යෝගයෙන් කම්පිත ව 25ඌ වේගයෙන් දුවයි. පැතිරී යන හොරණෑ හඬ ඇසෙන විට, ඌට නිසල ව සිටිය නොහැකි ය. ඒ ඒ හොරණෑ හඬට ඌ සතුටු හඬ නඟයි. සටන ද සෙනෙවියන් අණ දෙන හඬ ද ඌ ඉව අල්ලා දුර දී ම දැන ගනියි. 26උකුස්සා අහසට නැගී දකුණු දෙසට පියාපත් විදහා යන්නේ නුඹේ නුවණින් ද? 27රාජාලියා අහසට පියඹා උගේ කැදැල්ල උස් තැනක සාදන්නේ නුඹේ අණ පිට ද? 28ඌ උස් පර්වත මත වසයි. ගිරිකුළු මුදුන්වල කැදැල්ල සාදයි. 29එහි සිට ඈත මෑත බලා, දුර දක්නා දෙනෙතින් ඌ ගොදුරු සොයා ගනියි. 30මළසිරුර කොතන ද රාජාලියා එතැන ය. උගේ පැටව් එහි ලේ උරා බොති.”