හිතෝපදේශ 1

පෙර මීළඟ
1ඉශ්රායෙල් රජ වූ, දාවිත්ගේ පුත් සලමොන් පැවසූ හිතෝපදේශ මේ ය: 2ඒවායින්, ප්‍රඥාව ද විනය ධර්ම ද ධර්මාවබෝධය ද ලැබෙනු ඇත. 3ඒවායින්, බුද්ධි වර්ධනය හා දැහැමි ක්‍රියා ද අවංකකම ද යුක්තිය හා සාධාරණකම ද පිළිබඳ උපදෙස් ලැබෙනු ඇත. 4ඒවායින්, අනුවණයන් හට නුවණ ද තරුණයන් හට මනා අවබෝධය හා සිහිකල්පනාව ද ලැබෙනු ඇත. 5හිතෝපදේශ හා උපහැරණ ද 6බුද්ධිමතුන්ගේ කියුම් ද ප්‍රහේලිකා ද තේරුම්ගනු වස් නුවණැතියෝ ඒවාට සවන් දී දැනුම දියුණු කරගන්නෝ ය; ප්‍රාඥයෝ උපදෙස් ලබාගන්නෝ ය. 7දේව ගරුබිය ප්‍රඥාවේ මුල් පියවර යි; අනුවණයෝ නැණනුවණ හා විනය ධර්ම හෙළා දකිති. 8මාගේ පුත්‍රය, පියාගේ අවවාදය අසන්න; මවගේ උපදෙස් ඉවත නොදමන්න. 9ඒවා ඔබේ සිරසට හොබනා කිරුළක් ද ගෙලට අගනා මාලයක් ද වන්නේ ය. 10මාගේ පුත්‍රය, පවිටුන් මෙසේ කියමින් ඔබ පොළඹවන විට, එකඟ නොවන්න: 11අප සමඟ එන්න, අපි මඟ රැක සිට කෙනෙකු මරාදමමු; සැඟවී සිට, වරදක් නොකළ නිදොස් අයෙකුට පහර දෙමු. 12පාතාලය මෙන් අපි ඔවුන් පණපිටින් ගිලදමමු; නිවැරදි වුව ද, ඔවුන් අපායට බසින්නවුන් මෙන් වනු ඇත. 13නන් වැදෑරුම් අගනා වස්තු අපි පැහැරගනිමු; කොල්ලකාගත් දෙයින් අපේ ගේදොර පුරවාගනිමු. 14එන්න, අපේ කල්ලියට එක් වන්න; අප කාටත් පොදු පසුම්බියක් තබාගනිමු.” 15මාගේ පුත්‍රය, ඒ පාරෙහි නම් නොයන්න; ඔවුන්ගේ ක්‍රියා මාර්ගයෙන් ඈත් වන්න. 16ඔව්හු, අපරාධ කිරීමට කඩාබිඳගෙන යති; ලේ වැගිරීමට වේගයෙන් දුවති. 17කුරුල්ලා බලා සිටිය දී දැල දැමීමෙන් පලක් නැත. 18මේ මිනිස්සු තමන්ට ම උගුල් අටවාගනිති; තමන්ගේ ම විනාශයට උපා යොදති. 19අයුතු ලාභයට ගිජු වන්නා එයින් ම වැනසේ. ඔහුගේ ඉරණම එය වේ. 20ප්‍රඥා තොමෝ වීදිවල හඬනඟයි; ප්‍රසිද්ධ තැන්වල මොරගසයි. 21දෙනෝදහසක් රැස් වන මංසන්දිවල ඈ හඬනඟයි; නුවර වාසල් දොරටු ළඟ ඈ මෙසේ නිවේදනයක් කරයි: 22අනුවණයෙනි, ඔබ කොතෙක් කල් අනුවණකමට ප්‍රිය වන්නහු ද? නින්දා කරන්නෙනි, ඔබ කොතෙක් කල් නින්දාවට ප්‍රසන්න වන්නහු ද? අඥානයෙනි, ඔබ කොතෙක් කල් දැනගැන්මට ගරහන්නහු ද? 23මාගේ තරවටුව හිතට ගන්න; එසේ කළොත්, මම මුළු හිතින් ගුරුකම් දෙන්නෙමි. 24මම හඬගැසුවෙමි; ඔබ සවන් දුන්නේ නැත. මම ආයාචනා කෙළෙමි; ඔබ සැලකුවේ නැත. 25ඔබ මාගේ සියලු දැනමුතුකම් ගණනට නොගත්තහු ය; මාගේ ඔවා බස් නොපිළිගත්තහු ය. 26ඒවායින් ඔබ විපතට වැටෙන විට මම සිනාසෙන්නෙමි; භීතිය පැමිණෙන විට ද මම සමච්චල් කරන්නෙමි. 27භීතිය, කුණාටුවක් මෙන් ඔබට පැමිණි විට ද විනාශය, සුළි සුළඟක් මෙන් එන විට ද සිත් වේදනා හා දුක ඇති වන විට ද මම සමච්චල් කරමි. 28එවිට ඔබ මට හඬගසන නමුත් මම උත්තර නොදෙමි; ඔබ හැමතැන ම මා සොයන නමුත් මා සම්බ වන්නේ නැත. 29ඔබ කවදත් දැනුම හෙළා දුටුවහු ය; දේව ගරුබිය එපා කළහු ය. 30ඔබ කිසිදාක මාගේ දැනමුතුකම් පිළිගත්තේ නැත; මාගේ ඔවා බස්වලට කන් දුන්නේ නැත. 31කළ කළ දේ ඔබට පල පල දෙනු නියත ය; ඔබේ උපායවල විපාක එපා වන තුරු ලැබෙනු ඇත. 32අනුවණ දනෝ නැණනුවණට පිටුපා මියයති; අමන දනෝ නොසැලකිලිකමින් වැනසී යති. 33එහෙත් මට සවන් දෙන තැනැත්තේ සුරැකි ව, විපතට නොබා, යෙහෙන් වසනු ඇත.