හිතෝපදේශ 10

පෙර මීළඟ
1සලමොන් නිරිඳුන්ගේ හිතෝපදේශ මේ ය: නැණවත් පුතා පියා හට ප්‍රීතියකි, අනුවණ පුතා මවට ශෝකයකි. 2වංකකමින් ලබන වස්තුව නිෂ්ඵල වෙයි; එහෙත් අවංකකම මරණින් මුදයි. 3සමිඳාණෝ දැහැමි දනා හාමතට නොහරින සේක; එහෙත් දුදනන්ගේ මන දොළ නිෂ්ඵල කරන සේක. 4අලසකමින් දිළිඳුකම උපදියි; කඩිසරකමින් ධනය උපදියි. 5ගිම්හානයෙහි අස්වැන්න රැස් කරන්නා නැණවත් පුතෙකි; අස්වැන්න කාලයෙහි නිදන්නා නින්දිත පුතෙකි. 6දැහැමියන්ගේ හිස මත ආසිරි පැතිරෙයි; දුදනන්ගේ වචනවල සැහැසිකම සැඟවෙයි. 7දැහැමි දනා සැමරීම වාසනාවකි; එහෙත් දුදනන්ගේ නාමය පිළිකුලකි. 8පැණවතා අණපණත් පිළිගනියි; නන්දොඩන මෝඩයා වැනසී යයි. 9අවංක ව හැසිරෙන්නා සුව සේ වසයි; වංක මඟෙහි යන්නාගේ ක්‍රියා එළි වෙයි. 10වපර ඇසින් වරද දෙස බලන්නා කරදර උපදවයි; එහෙත් නිර්භය විවේචනය කරන්නා සාමය ගෙන දෙයි. 11සුදනන්ගේ කතාව ජීවන උල්පතකි; දුදනන්ගේ වචනවල සැහැසිකම සැඟවී ඇත. 12වෛරය කලහ උපදවයි; ප්‍රේමය වැරදි නොතකයි. 13නුවණැත්තා සිහිනුවණින් කතා කරයි; අනුවණයා කස පහර ලැබිය යුතුයි. 14නැණවත්හු දැනුම රැස් කරගනිති; එහෙත් මෝඩයන්ගේ කතාව විනාශය ළං කරගනියි. 15ධනවතාගේ ධනසම්පත ඔහුට බලකොටුවකි; දිළින්දාගේ දිළිඳුකම ඔහුට විනාශයකි. 16දමිටුන්ගේ විපාකය ජීවනය වේ; අදමිටුන්ගේ විපාකය විනාශය වේ. 17ශික්ෂා පිළිපදින්නා ජීවන මඟ යයි; අවවාදයට පිටු පාන්නා මුළා වී යයි. 18බොරු කියන්නා වෛරය උපදවන්නෙකි; කේලාම් පතළ කරන්නා අඥානයෙකි. 19කතාව වැඩි තැන වරදට ඉඩ ඇත; සිය මුව රැකගන්නා නුවණැත්තෙකි. 20සුදනන්ගේ තෙපුල් පිරිසිදු රිදී මෙනි; දුදනන්ගේ බසෙහි කිසි හරයක් නැත. 21දැහැමියන්ගේ බස් බහු ජන හිත සුව පිණිස වේ; එහෙත් අනුවණයෝ අනුවණකමින් වැනසෙති. 22සමිඳුන්ගේ ආසිරි සෞභාග්‍යය සලසයි; දැඩි ශ්‍රමයෙන් එය වැඩි කළ නොහැක. 23අනුවණයාගේ විනෝදය නපුරු ක්‍රියා කිරීම ය; නුවණැත්තාගේ ප්‍රීතිය ප්‍රඥාව ලැබීම ය. 24දුෂ්ටයා බිය වන දේ ම ඔහු පිටට එයි; ධර්මිෂ්ඨයා කැමැති වන දේ ම ඔහුට දෙනු ලැබෙයි. 25සැඬ සුළඟ පහවෙත් ම දුදනෝ ද පහ වී යති; එහෙත් සුදනන්ගේ අත්තිවාරම් සදා පවතිනු ඇත. 26අලසයාගෙන් කිසි වැඩක් නොගන්න; ඔහු, දත්වලට විනාකිරි ද ඇස්වලට දුම ද මෙන් වනු ඇත. 27සමිඳුන් කෙරෙහි ගෞරවය දිගාසිරි දෙයි; එහෙත් දුෂ්ටයෝ අඩු වයසින් මිය යන්නහු ය. 28දමිටුන්ගේ පැතුම සොම්නස ගෙන දෙයි; අදමිටුන්ගේ පැතුම නිෂ්ඵල වෙයි. 29සමිඳුන්ගේ මඟ අවංක අයට බලකොටුවකි; අයුතුකම් කරන්නන්ට එය මහ විපතකි. 30දැහැමියා සිය තැනින් කිසිදා නොසෙල් වෙයි; එහෙත් දුෂ්ටයාට දේශයෙහි තැනක් නැති වෙයි. 31දැහැමියාගේ මුවින් ප්‍රඥාව ගලා යයි; එහෙත් ප්‍රයෝගකාරී දිව සිඳදමනු ලැබෙයි. 32දැහැමියා සිය මුවින් ප්‍රස්තාවෝචිත දේ කියයි; එහෙත් දුෂ්ටයා කතාවෙන් කැරලිකාර දේ පවසයි.