හිතෝපදේශ 11

පෙර මීළඟ
1හොර තරාදිය සමිඳුන්ට පිළිකුලකි; හරි පඩි සමිඳුන්ට ප්‍රීතියකි. 2අහංකාරය සමඟ නින්දාව එයි; එහෙත් යටහතුන් වෙත ප්‍රඥාව ඇත. 3අවංක අයට අවංකකම මඟපෙන්වයි. ද්‍රෝහියා සිය ද්‍රෝහිකමින් විනාශ වෙයි. 4මැරෙන දිනයේ දී සම්පතින් වැඩක් නැත; එහෙත් දැහැමි ජීවිතය මරණින් මුදයි. 5දැහැමිකමින් නිදොස් මිනිසාගේ ජීවිත ගමන පහසු වේ; අදමිටුකමින් අදමිටුන්ගේ ම වැටීම සිදු වේ. 6අවංක අය සිය දැහැමිකමින් ගැළවෙති; එහෙත් ද්‍රෝහියෝ සිය කූටෝපායවලට අසු වෙති. 7දුදනාගේ මරණය සමඟ ඔහුගේ පැතුම ද නැසෙයි; අභක්තිකයන්ගේ ප්‍රාර්ථනා ද එසේ ම නැසෙයි. 8ධර්මිෂ්ඨයා විපතෙන් මිදෙනු ඇත; දුෂ්ටයා මිදෙනු වෙනුවට විපතට පත් වෙනු ඇත. 9අභක්තිකයාගේ බසින් මිනිස්සු විනාශ වෙති; එහෙත් දමිටු අය ප්‍රඥාවෙන් ගැළවෙති. 10දැහැමි අයට සෙත සැලසෙන විට නගරය ප්‍රීති වෙයි; නොදැහැමියන් නසින විට නගරය ඔල්වර හඬ නඟයි. 11අවංක අයගේ ආශීර්වාදයෙන් නගරය උසස් වෙයි; එහෙත් දුදනන්ගේ වදනින් එය බිඳ වැටෙයි. 12සිය අසල්වැසියා හෙළා දකින්නා අනුවණයෙකි; එහෙත් නුවණැත්තා නිහඬ ව සිටියි. 13කේලාම් පතුරන්නා රහස් හෙළි කරයි. එහෙත් විශ්වාසවන්තයා රහස් සඟවා තබාගනියි. 14දක්ෂ නායකත්වය නැති තැන සෙනඟ පිරිහෙති; එහෙත් අනුශාසකයන් රැසක් සිටියොත් රට සුරැකේ. 15නොදන්න කෙනෙකුට ඇප වෙන්නා විපතට පැමිණෙයි; එසේ ඇප නොවෙන්නා සුරැකි ව සිටියි. 16විනීත වනිතාව ආත්ම ගෞරවය දිනාගනියි; එහෙත් අවිනීත ස්ත්‍රිය නින්දාවකි. අලසයා අත කිසි විටෙක මුදල් නැත; උත්සාහවන්තයා ධනවත් වෙයි. 17කාරුණික මිනිසා තමාගේ ම මිතුරා ය; ක්‍රෑර මිනිසා තමාගේ ම සතුරා ය. 18දුෂ්ටයා වංචාවෙන් ලබන දේ මායාවකි. එහෙත් යහපත වපුරන්නාට අස්වැන්නක් නියත ය. 19දැහැමි ජීවිතයෙහි පිහිටි අය ජීවනය ලබති; නපුරු මඟ යන්නෝ මරණය ළඟා කර ගනිති. 20වංක අය සමිඳුන් හට පිළිකුලකි; අවංක අය එතුමන්ට සතුටකි. 21දුෂ්ටයා දඬුවම් ලබනු සහතික ය; එහෙත් සුදනන්ගේ පරපුර ඉන් නිදහස් වනු ඇත. 22ඌරෙකුගේ හොම්බෙහි ලූ රන් මුදුව යම් සේ ද අනුවණ කාන්තාවගේ රූ සපුව ද එසේ ම ය. 23දමිටුන්ගේ මන දොළ හුදෙක් යහපත සඳහා වේ; දුදනන්ගේ පැතුමෙන් කිසි වැඩක් නැත. 24කෙනෙක් අත මිට දිගහැර දෙතත් පොහොසත් වෙති; තව කෙනෙක් දැඩි මසුරුකමින් දෙතත් දිළිඳු වෙති. 25ත්‍යාගශීලී වන්න, එවිට ඔබ පොහොසතෙක් වන්නෙහි ය; අන්‍යයන්ට ආධාර කරන්න, අන්‍යයෝ ඔබට ආධාර කරති. 26අනුන්ට නො දී ධාන්‍ය රැස් කරන්නාට සෙනඟ සාප කරනු ඇත; එහෙත් එය විකුණන්නා හට ආසිරි ලැබෙනු ඇත. 27යහපත ගැන වීර්ය කරන්නා කරුණාව ලබයි; එහෙත් නපුර සොයන්නා නපුර ම ලබයි. 28වස්තුව කෙරේ විශ්වාසය තබන්නා වියළි කොළයක් මෙන් වැටෙයි; එහෙත් ධර්මිෂ්ඨයා අමු කොළයක් මෙන් සශ්‍රීක වෙයි. 29සිය පවුල අවුල් කරන්නාට හුළං බොන්න වෙයි; මෝඩයා පැණවතා හට වහලෙකු වනු ඇත. 30ධර්මිෂ්ඨයා ජීවන වෘක්ෂයක් මෙන් පල දරයි; එහෙත් සැහැසි අයට එය නැති වී යයි. 31බලන්න, ධර්මිෂ්ඨයා මොලොව දී හොඳ ප්‍රතිඵල ලබයි; ඊට කොතරම් වැඩියෙන් දුෂ්ටයා හා පාපිෂ්ඨයා දුර්විපාක නොලබත් ද?