හිතෝපදේශ 13

පෙර මීළඟ
1පැණවත් පුතා පියාගේ අවවාදයට සවන් දෙයි; උඩඟු මිනිසා තරවටුව නොසලකයි. 2සුදනෝ සිය වදනින් යසඉසුරු වළඳති; කපටියෝ අපරාධය ම සොයා යති. 3දිව රැකගන්නා දිවි රැකගනියි; දොඩමළුවා විනාශයට පැමිණෙයි. 4අලස අය ආසා වුවත් කිසිත් නොලබති; ක්‍රියාශීලී අය සව් සැපත ම භුක්ති විඳිති. 5දැහැමියා මුසාවාද පිළිකුල් කරයි; දුදන බස තුච්ඡ ය, වංචනික ය. 6දමිටුකම සුදනන්ට ආරක්ෂාව දෙයි; අදමිටුකම දුදනන් ප්‍රපාතයට හෙළයි. 7පොහොසත් යයි පෙන්වතත් ඇතැමෙක් දුප්පත් ය; දුප්පත් යයි පෙන්වතත් ඇතැමෙක් පොහොසත් ය. 8ධනවතා සිය ධනය ගෙවා දිවි බේරාගත යුතුයි; දිළිඳාට එවැනි තර්ජනයක් නැත. 9දමිටුන්ගේ එළිය දීප්තිමත් ව බබළයි; එහෙත් අදමිටුන්ගේ පහන නිවීගෙන යයි. 10උඩඟුකම වාද විවාද ඇති කරයි; ඔවා බස් පිළිගන්නන් වෙත ප්‍රඥාව ඇත. 11නිරායාසයෙන් ලබන සම්පත වහා නැති වී යයි; වැර වීරියෙන් ලබන වස්තුව තව තව වැඩි වෙයි. 12පැතූ දෙය පමා වීමෙන් සිත කලකිරෙයි; පැතුම ඉටු වීම ජීවන වෘක්ෂයකි. 13ඔවා බස් නොතැකීම කරදරයට පාර කැපීමකි; ඔවා බස් තැකීම වාසනාව ගෙන එයි. 14පැණවතාගේ උපදෙස් ජීවන උල්පතකි; එය මරණයේ මලපත්වලින් ඔබ මුදයි. 15හොඳ නැණනුවණ නිසා කරුණාව ලැබෙයි; ද්‍රෝහීන්ගේ මාර්ගය විනාශය බලා යයි. 16බුද්ධිමතා හිතාමතා ක්‍රියා කරයි; අඥානයා සිය අනුවණකම ගැන පාරට්ටු කරයි. 17අදක්ෂ නියෝජිතයා නිසා රට කරදරයට පත්වෙයි; එහෙත් විශ්වාසී තානාපතියා දියුණුව ගෙන දෙයි. 18අවවාද නොපිළිගන්නා හට දිළිඳුකම හා නින්දාව ඇත; උපදෙස් පිළිගන්නා හට ගෞරවය ඇත. 19මන දොළ සපුරාගැන්ම මිනිසාට සුමිහිරි ය. නපුරෙන් ඈත් වීම අනුවණයන්ට අමිහිරි ය. 20නැණවතුන් ඇසුරු කරන්න, ඔබත් නැණවත් වනු ඇත; අනුවණයන් ඇසුරු කරන්න, ඔබ විනාශ වනු ඇත. 21විපත පවිටුන් ලුහුබැඳ එයි; සැපත දමිටුන්ගේ විපාකය වෙයි. 22සුදනන්ගේ වස්තුව සිය පරපුරට උරුම වෙයි: දුදනන්ගේ වස්තුව සුදනන්ට හිමි වෙයි. 23වගා නොකළ කෙත්වල දිළිඳුන්ට කෑම තිබිය හැකි ය, එහෙත් අයුක්තිය නිසා ඒවා පවා රැස් කරගැනීමට ඉඩක් නැත. 24වේවැල නොගන්න පියා පුතාට සතුරෙකි; වේවැල ගන්න පියා පුතාට මිතුරෙකි. 25දමිටු අයට කෑම හිඟයක් නැත; අදමිටු අයට කවදත් කුසගිනි ඇත.