හිතෝපදේශ 14

පෙර මීළඟ
1නැණවත් වනිතාව සිය පවුල ගොඩනඟන්නී ය; අනුවණ වනිතාව සිය අතින් ම එය බිඳදමන්නී ය. 2අවංක මිනිසා සමිඳුන් කෙරෙහි ගරුබිය ඇත්තෙකි; වංක මිනිසා එතුමන් හෙළා දකියි. 3මෝඩයාගේ දොඩමළු කතා තමාට ම පහර දෙන ඉපලකි; ප්‍රාඥයාගේ කියුම් ඔහුට රැකවරණය දෙන්නකි. 4ගවයන් නැති විට අටුකොටු හිස් ව ඇත; ගවයන් ඇති විට අටුකොටු පිරී ඇත. 5විශ්වාසී සාක්ෂිකරු බොරු නොකියයි: බොරු සාක්ෂිකරුවෙක් බොරුව ම කියයි. 6උඩඟු මිනිසා ප්‍රඥාව සොයතත්, එය නොලබයි; බුද්ධිමතා පහසුවෙන් ම දැනුම ලබයි. 7අඥානයා කෙරෙන් ඈත් වන්න; ඔහුට කලඳක් වත් දැනුම නැති බව ඔබට පෙනේ. 8නැණනුවණ ඇති අය ජීවන මඟ තේරුම්ගනිති; අනුවණ අය සිය මෝඩකමින් මංමුළා වෙති. 9අනුවණයාට පාපය සෙල්ලමකි; අවංක අයට පාප කමාව අවශ්‍ය දෙයකි. 10ඔබේ දුක සැප දන්නේ ඔබ ම ය; අන් කෙනෙකුට එය ඔබ සමඟ විඳිය නොහැකි ය. 11දුෂ්ටයන්ගේ නිවෙස විනාශ වනු ඇත; අවංක අයගේ නිවෙස පවතිනු ඇත. 12මිනිසෙකුට හරි යයි පෙනෙන මඟ අවසානයේ දී මරණය විය හැක. 13සිනාවේ පවා සිත් තැවුලක් විය හැක; ප්‍රීතියේ කෙළවර ශෝකය විය හැක. 14දුදනා සිය ක්‍රියාවල විපාකය ලබයි; සුදනා තම ක්‍රියාවල ප්‍රතිඵල ලබයි. 15නූගතා තමාට ඇසෙන සැම දෙය ම විශ්වාස කරයි; උගතා තම පියවර හොඳින් විමසා බලයි. 16ප්‍රඥාවන්තයා නපුරට බිය වී ඉන් ප්‍රවේසම් වෙයි; අඥානයා උඩඟු වී දුර දිග නොබලා, ක්‍රියා කරයි. 17වහා කිපෙන්නා අනුවණ ලෙස ක්‍රියා කරයි. එහෙත් නුවණැතියා ශාන්ත ව සිටියි. 18අනුවණයන්ට මෝඩකමේ පල විපාක උරුම වෙයි; එහෙත් නුවණැත්තෝ දැනුම නමැති කිරුළ පැළඳගනිති. 19නපුරෝ යහපතුන් අබිමුව වැඳ වැටෙති; දුදනෝ දැහැමියන්ගේ දොරටු ළඟ වැඳ වැටෙති. 20දිළින්දාට කිසි ම හිතවතෙක් නැත; පොහොසතාට නම් බොහෝ මිතුරෝ ඇත. 21කෙනෙකු හෙළා දැකීම පාපයකි; දිළිඳුන්ට අනුකම්පා කිරීම වාසනාවකි. 22නපුරු උපා යොදන්නා බරපතල වරදක් කරයි; යහපත කරන්නා කරුණාව ද විශ්වාසය ද ලබයි. 23වැඩක යෙදුණොත් ජීවිකාව ලැබේ; කතාවට ම වැටුණොත් දිළිඳුකම ලැබේ. 24නැණවතුන්ගේ කිරුළ ඔවුන්ගේ නැණනුවණ වේ; අඥානයන්ගේ ඔටුන්න ඔවුන්ගේ අනුවණකම වේ. 25සැබෑ සාක්ෂිකරු ජීවිත ගළවයි; බොරු සාක්ෂිකරු ජීවිත පාවා දෙයි. 26දේව ගරුබිය ඇත්තා හට ආත්ම විශ්වාසය ඇත; ඔහුගේ දූ දරුවන්ට ආරක්ෂාව ද ඇත. 27දේව ගරුබිය ජීවන උල්පතකි; එයින් නුඹ මාරක මලපතින් මිදෙන්නෙහි ය. 28රජුගේ මහේශාක්‍යය රඳා ඇත්තේ සෙනඟගේ සංබ්‍යාව පිට ය; සෙනඟ අඩුකම ඔහුට මදිකමකි. 29කෝපයට පමා වන්නා ඉතා නුවණැති කෙනෙකි; වහා කිපෙන්නා සිය මෝඩකම විදහා පාන්නේ ය. 30නිසල් සිත, ගතට සුවය දෙයි; ඊර්ෂ්‍යාව, ඇටකටුවලට පිළිකාවකි. 31දිළිඳාට පීඩා කරන්නා සිය මැවුම්කරු හට නින්දා කරයි; දිළිඳාට කරුණාව දක්වන්නා එතුමන්ට ගරු කරයි. 32දුෂ්ටයා දුෂ්ට ක්‍රියාවලින් පිරිහෙයි; ධර්මිෂ්ඨයා සිය දැහැමිකමින් සුරැකෙයි. 33නුවණැතියාගේ සිතෙහි ප්‍රඥාව පවතියි; අඥානයා ප්‍රඥාව ගැන කිසිත් නොදනියි. 34ධර්මිෂ්ඨකම ජාතියක් උසස් කරයි; කවර ජාතියට වුව ද පාපය නින්දාවකි. 35කාර්යක්ෂම නිලධාරීන් හට නිරිඳෝ ප්‍රසන්න වෙති; යුතුකම් පැහැර හරින අයට ඔව්හු දඬුවම් දෙති.