සලමොන්ගේ ප්‍රඥාව 12

පෙර මීළඟ
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19
1සමිඳුනි, වරද කරන්නන් ඔබ ක්‍රමක්‍රමයෙන් හරිගස්වන සේක. 2ඔබ කෙරෙහි විශ්වාසය තබා ඔවුන් නපුරෙන් ඈත් වනු පිණිස ඔවුන් වරද කළ සැටි ඔබ ඔවුන්ට පෙන්වා දී ඔවුන්ට අවවාද කරන සේක. 3ඔබේ ශුද්ධ දේශයේ විසූ පැරණි දේශවාසීන්ට ඔබ ද්වේෂ කළ සේක. 4ඔවුන්ගේ පිළිකුල් සිරිත් විරිත් වලට ද ඔවුන්ගේ අනවින සහ මායාකර්ම අපිරිසිදු පිළිවෙත්වලට ද ඔබ ද්වේෂ කළ සේක. 5දරුදැරියන් මරාදමන කුරිරු මව්වරුන් නිසා ද, ලේ වගුළ යාගික මිථ්‍යා පිළිවෙත් මැද ඔවුන්ගේ සමාගමට ගත් අයවලුන් මිනිසුන්ගේ මස්මාංස කාදැමීම නිසා ද 6රැකවරණයක් නැති අය මරාදමන මිනීමරු දෙමාපියන් නිසා ද ඔබ ඔවුන්ට ද්වේෂ කළ සේක. 7අන් රටකට වඩා ඔබ ප්‍රේම කළ මේ රට ඊට සුදුසු දේවදරු ජනතාවක් ලබන පරිදි ඔබ අපේ පියවරුන් මඟින් ඔවුන් වනසාලීමට ඉටාගත් සේක. 8එහෙත්, ඔවුන් මිනිසුන් වූ බැවින් ඔබ ඔවුන් කෙරෙහි මෘදු ලෙස ක්‍රියා කළ සේක. ටිකෙන් ටික ඔවුන් වනසාලනු පිණිස ඔබේ සේනාවට කලින් යන දූතයන් මෙන් ඔබ බඹරුන් යැවූ සේක. 9ඔබ එසේ කෙළේ සටනක දී මේ අභක්තිකයන් දැහැමියන් හට පාවාදීමට නොහැකි වූ නිසා වත්, වග වලසුන් මඟින් හො‍් ඔබෙන් නික්ම ආ එක වචනයකින් හො‍් එක වර ඔවුන් වනසාලීමට බැරි වූ නිසා වත් නොවේ. 10ඔවුන් සහජයෙන් ම නපුරට ඇලී සිටින බව ද, ඇතුළාන්තයෙන් දුෂ්ට බව ද, ඔවුන්ගේ සිත් සතන් වෙනස් කළ නොහැකි බව ද, ඔබ මැනවින් දැන සිටි නමුත්, ඔවුන් හට පසුතැවී සිත් හරවා ගැනීමට ඉඩ ප්‍රස්ථා සලසා දෙමින්, ඔබ ඔවුන් කොටස් වශයෙන් හෙළාදැමූ සේක. 11මන්ද, ඔව්හු ආරම්භයේ සිට සාප ලත් ජාතියක් වූ හ. 12ඔබ කුමක් කෙළෙහි දැ”යි කිව හැක්කේ කාට ද? ඔබේ තීරණයට විරුද්ධ වන්නේ කවරෙක් ද? ඔබ මවා වදාළ ජාතීන් විනාශ කිරීම ගැන ඔබට දොස් පවරන්නේ කවරෙක් ද? ඔබට විරුද්ධ ව අභියෝග කිරීමට ආව හැකි වරදකරුවන්ගේ ශූරයා කවරෙක් ද? 13ඔබ කිසි දාක අසාධාරණ ලෙස විනිශ්චය කෙළෙහි යයි ඔබ විසින් ම ඔප්පු කළ යුතු වූ ද, සියල්ල ගැන සලකන්නා වූ ද ඔබ හැර අන් දෙවි කෙනෙක් නැත. 14ඔබ දඬුවම් දුන් අය ගැන රජෙකු හො‍් සාහසික පාලකයෙකු හො‍් ඔබට දොස් පැවරීමට එනු නොහැකි ය. 15ඔබ සාධාරණ බැවින් ඔබ සාධාරණ ලෙස පාලනය කළ සේක. දඬුවම් නොලැබිය යුතු කෙනෙකු හෙළාදැකීම ඔබේ බලයට නුසුදුසු බව ඔබ සලකන සේක. 16ඔබේ යුක්තියේ මුල රඳා ඇත්තේ බලයෙහි ය. සියල්ලන් කෙරෙහි ආධිපත්‍යය ඔබට ඇති බැවින් ඔබ සියල්ලන්ට කාරුණික ය. 17ඔබේ අධිපති බලය ගැන ප්‍රශ්න කරන විට ඔබ තමන් ශක්තිය පෙන්වන සේක. මේ බව දන්න අයගේ අහංකාරය ඔබ අනාවරණය කරන සේක. 18එහෙත්, ඔබ තමන් බල මහිමය පාන විට විනිශ්චයේ දී මෘදු ය. ඔබ ඉතා කාරුණික ව අප පාලනය කරන සේක. මන්ද, ඔබ කැමැත්ත පෙන්වන විට ඔබේ බලය එහි ඇත්තේ ය. 19ඔබ මෙසේ ක්‍රියා කිරීමෙන් දැහැමි මිනිසා සිය අසල්වැසියන්ට කෙසේ කාරුණික ව සිටිය යුතු දැ යි ඔබ තමන් සෙනඟට පාඩමක් උගන්වා ඇත. පාපයට පසු පසුතැවී සිත් හරවා ගැනීම ගැන මනා බලාපොරොත්තුවක් ඔබ තමන් දරුවන්ට දුන් සේක. 20ඔබේ දරුවන්ගේ සතුරන් මරණයට පත් කළ යුතු අවස්ථාවේ දී ඔවුන්ගේ දුෂ්ටකම ඉවත්කර ගැනීම සඳහා ඔබ දඬුවම් කළ යුතු අයට මෙතරම් සැලකිල්ලක් දක්වා සමාවක් දුන් සේක් නම්, 21ඔබ දිවුරුම් හා ගිවිසුම් මඟින් මෙතරම් යහපත් දේවල් පොරොන්දු වූ මුතුන්මිත්තන්ගේ දරුවන් ඔබ කොපමණ සැලකිලිමත් අවධානයක් සහිත ව විනිශ්චය නොකරන සේක් ද? 22මෙලෙස අප විනිශ්චය කරන විට ඔබේ කරුණා ගුණය ගැන කල්පනා කිරීමටත්, අප විනිශ්චය කරනු ලබන විට දයාව සොයා යාමටත් උගන්වනු පිණිස ඔබ අපට දඬුවම් දෙන විට අපේ සතුරන්ට දස දහස් ගුණයකින් වඩා දරුණු ලෙස ඔබ කස පහර දෙන සේක. 23දුෂ්ට අධම ජීවිත ගත කරන අයට විරුද්ධ ව ඔවුන්ගේ ම පිළිකුල් ක්‍රියා මඟින් ඔවුන්ට දඬුවම් දීමට ඔබ සැලැසුවේ ඒ නිසා ය. 24සැබැවින් ම ඔව්හු මිනිසුන් නොමඟ යවන මාර්ගවලින් බොහෝ දුරට මංමුළා වී සිටියෝ ය. එබැවින් මො‍්ඩ කුඩා ළමුන් මෙන් රවටනු ලැබූ ඔව්හු ඉතා පිළිකුල් වූ හෙළාදැකිය යුතු සතුන් පවා දෙවිවරුන් මෙන් සැලකූ හ. 25එබැවින් දැනුම් පැහැදුම් නැති දරුවන් වෙත දඬුවම් එවන පරිදි ඔවුන්ට සමච්චල් කරනු පිණිස ඔබ ඔවුන්ට දඬුවම් එවූ සේක. 26එහෙත් ඔව්හු එවැනි විහිළුකාර දඬුවම් නොතැකූ බැවින් දෙවියන් වහන්සේ විසින් එවිය යුතු සුදුසු දඬුවමක් විගස අත් දුටහ. 27ඔවුන් දෙවිවරුන් මෙන් සැලකූ ඒ සතුන්ගෙන් ම පීඩා විඳ ඔව්හු වෙහෙසට පත් වූ හ. ඒ සතුන් මඟින් ම ඔවුන් දඬුවම් ලැබූ විට ඔව්හු සත්‍ය වූ දෙවිඳුන් කෙළින් ම දැක එතුමාණන් පිළිගත්හ. එහෙත්, මෙතෙක් කල් ඔව්හු එතුමාණන් ගැන දැනගැනීම ප්‍රතික්ෂේප කර සිටියෝ ය. ඔවුන්ට දරුණු දඬුවම් පැමිණියේ ඒ නිසා ම ය.