1සුදනන්ගේ ජීවිත දෙවිඳුන්ගේ රැකවරණයෙහි ය. කිසි ම හිංසාවක් කිසිදාක ඔවුන්ට නොපැමිණෙනු ඇත.
2අනුවණයන්ගේ ඇස් ඉදිරියෙහි ඔව්හු මියයන්නාක් මෙන් වූ හ. ඔවුන්ගේ මරණය විපත්තියක් මෙන් පෙනුණි.
3ඔවුන් අප අත්හැර යාම නැත්තට ම නැති වීමක් මෙන් විය. එහෙත් ඔව්හු සාමදානයෙන් සිටිති.
4ඔවුන් දඬුවම් ලැබුවන් සේ මිනිසුන්ට පෙනුණ නමුත් ඔවුන්ගේ බලාපොරොත්තුව අමරණීය භාවයෙන් පෝෂණය විය.
5ඔවුන්ගේ වේදනාව අල්ප විය. ඔවුන් ලබන ආසිරි විශාල වනු ඇත. මන්ද, දෙවිඳුන් ඔවුන් පරීක්ෂා කළ විට තමන් සමඟ විසීමට ඔවුන් සුදුසු බව පෙනී ගියේ ය.
6එතුමාණෝ උදුනේ රත්රන් මෙන් ඔවුන් පරීක්ෂා කළ සේක. දවන යාග පූජාවක් මෙන් ඔවුන් පිළිගත් සේක.
7විනිශ්චය කාලය පැමිණෙන විට ඔව්හු බබළන්නෝ ය; ඉපනැලි අතර ගිනි පුපුරු මෙන් දිළිසෙන්නෝ ය.
8ඔව්හු ජාතීන් විනිශ්චය කරන්නෝ ය; සෙනඟ පාලනය කරන්නෝ ය. සමිඳාණෝ සදහට ම ඔවුන්ගේ රජ වන සේක.
9දෙවිඳුන් කෙරෙහි විශ්වාස කරන්නෝ සත්‍යය තේරුම්ගන්නෝ ය. සැදැහැවත්හු එතුමන් සමඟ ප්‍රේමයෙන් ජීවත් වන්නෝ ය. එතුමන්ගේ තෝරාගත් අය හට වරප්‍රසාදය හා දයාව ඇත.
10එහෙත් අභක්තිකයන්ගේ කල්පනා නිසා ඔවුන්ට නිසි ලෙස දඬුවම් කරනු ඇත. මන්ද, ඔව්හු දැහැමියා නොසැලකූ හ. සමිඳාණන් අත්හැරදැමූ හ.
11එසේය, ප්‍රඥාවට හා විනයට දොස් තබන්නෝ කාලකණ්ණි ය: ඔවුන්ගේ බලාපොරොත්තුව හිස් ය. ඔවුන්ගේ වෙහෙස මහන්සිය නිෂ්ඵල ය. ඔවුන්ගේ ක්‍රියාවලින් ලාභයක් නැත.
12ඔවුන්ගේ භාර්යාවෝ හිතුවක්කාර ය. ඔවුන්ගේ දරුවෝ දුරාචාරී ය. ඔවුන්ගේ පරපුර සාප ලද්දෝ ය.
13වඳ ස්ත්‍රිය නිදොස් නම් ඈ භාග්‍යවන්තියකි. ඈ අනිසි ලෙස පුරුෂයෙකු සමඟ එක් වී නැත. ඇගේ සඵල බව විනිශ්චයේ දී දකිනු ඇත.
14අපරාධ නොකළ නපුංසකයා ද භාග්‍යවන්තයෙකි. ඔහු සමිඳුන්ට විරුද්ධ ව වරද නොසිතී ය. ඔහුගේ ලැදියාව නිසා ඔහුට විශේෂ වරමක් දෙනු ඇත. එය සමිඳුන්ගේ මාලිගාවෙහි මනහර කොටස වනු ඇත.
15අවංක ශ්‍රමයේ පල විපාක මහිමාන්විත ය. ප්‍රඥාවේ මුල් නොදිරයි.
16පරදාර සේවනය කරන්නන්ගේ දරුවන්ට අනාගතයක් නැත. අවජාත දරුවා අතුරුදහන් වේ.
17ඔවුන් දිගායු වැළඳුවත් ඔවුන්ගෙන් පලක් නැත. අවසානයේ දී ඔවුන්ගේ මහලු වියට ගරුසරු නොලැබේ.
18ඔවුන් වැඩි කල් යන්නට මත්තෙන් මැරුණත් ඔවුන්ට බලාපොරොත්තුවක් නැත. විනිශ්චය දිනයේ දී සැලකිල්ලක් ද නැත. එසේ ය, නපුර කරන අයගේ ඉරණම දරුණු ය.