සලමොන්ගේ ප්‍රඥාව 19

පෙර මීළඟ
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19
1අභක්තිකයෝ අන්තීමය දක්වා දයා විරහිත කෝපය මඟින් පහර ලැබූ හ. මන්ද, ඔවුන් කරන්නට යන දේ දෙවිඳාණෝ කල්තියා දැන සිටි සේක. 2එතුමන්ගේ සෙනඟට යන්නට අවසර දී ඔවුන් කඩිනම් කළ පසු, මිසර වාසීන් ඔවුන්ගේ සිත් වෙනස් කොට ඉශ්රායෙල් ජනයා ලුහුබැඳ යන බව එතුමාණෝ දැන සිටි සේක. 3ඔවුන්ගේ අවමංගල්‍ය සිරිත් විරිත් ඔවුන් පවත්වමින්, සොහොන් කොත් ළඟ තමන්ගේ මියගිය අය ගැන ඔවුන් වැලපෙද්දී තව අනුවණ දෙයක් කිරීමට ඔව්හු සිතට ගත්හ. එනම්, තමන්ගේ දේශයෙන් පිටත් ව යන ලෙස බැගෑපත් ව ඉල්ලුම් කළ ජනතාව පලායන්නන් මෙන් සළකා ඔවුන් ලුහුබැඳ යාමට පිටත්වීම යි. 4මෙවැනි අන්ත පරාජයකට ඔවුන් පොළඹවන ලද්දේ ඔවුන්ට ම ගැළපෙන ඉරණමක් මඟිනි. ඔවුන්ගේ දුක්කම්කටොලුවලට තව විශේෂ දඬුවමක් එකතු වන ලෙස ඒ ඉරණම ඔවුන්ට ඒ තාක් සිදු වූ දේ අමතක වෙන්නට සැලසී ය. 5එහෙත්, ඔබේ සෙනඟ පුදුම ලෙස ගමන යන විට මිසර වැසියෝ පුදුමකාර මරණයකට මුහුණ දුන් හ. 6එහෙත්, සියලු අනතුරින් ඔබේ ජනතාව ගළවාලනු පිණිස මුළු මැවිල්ල ම ඔබේ අණට කීකරු වී සොබා දහමේ නවතාවකින් හැඩගැසුණේ ය. 7කඳවුරට ඉහළින් වලාකුළක් මතු විය. ජලය තිබූ ස්ථානයේ වියළි ගොඩබිම හටගැනිණි. රතු මුහුද බාධා විරහිත මාර්ගයක් විය. බිහිසුණු මුහුදු ජලය පලාවන් තණ බිමක් විය. 8ඔබේ හස්තයෙන් ආවරණය ලැබ මුළු ජාතිය ම මේ අරුමපුදුම හාස්කම් දෙස බල බලා මුහුද මැදින් ගමන් කළො‍් ය. 9ජනතාව තණ බිමේ සිටින අසුන් මෙන් වූ හ. සමිඳුනි, ඔවුන්ගේ විමුක්තිදායකයාණන්ගේ පසස් ගී ගය ගයා ඔව්හු බැටළු පැටවුන් මෙන් පැන පැන ගියහ. 10ඔවුන්ගේ වහල් ජීවිත කාලයේ දී වූ සිද්ධි ඔවුන්ට මතක් විය. සතුන් වෙනුවට මදුරුවන් රට තුළ බෝවෙන හැටිත් මත්ස්‍යයන් වෙනුවට ගඟින් විශාල ගණනාවක් මැඬියන් පිට වූ හැටිත් ඔවුන්ට මතක් විය. 11ඉන්පසු පක්ෂීන් බෝවුණ පුදුමාකාරය ඔව්හු දුටහ. එනම්, සාගින්නෙන් පෙළී ඔවුන් රසවත් ආහාරයක් 12ඉල්ලූ විට ඔවුන්ට තෘප්තිය දෙනු සඳහා මුහුදින් පක්ෂීහු නික්ම ආහ. 13එහෙත්, කලින් කරන අනතුරු ඇඟවීමක් මෙන් බිහිසුණු ගිගුරුම් සහිත ව පවිටුන් පිට දඬුවම් පැමිණියේ ය. ඔවුන් විදේශීන් කෙරෙහි දැඩි ද්වේෂයක් පෑ නිසා ඒ අපරාධවලට දුක් විඳීම යුක්ති සහගත විය. 14සමහරෙකු විසින් කරන ලද්දේ නාඳුනන අය පැමිණි විට ඔවුන් සාදරයෙන් නොපිළිගැනීම යි. එහෙත්, මිසර වාසීන් විසින් කරන ලද්දේ අමුත්තන් සහ හිතවතුන් වහලුන් කිරීම යි. 15ඉහත කී නුවර වැසියන් මුල පටන් ම විදේශීන්ට වෛර කළ බැවින් නිසි කල ඔවුන්ට දඬුවම් දෙනු ලැබේ. 16එහෙත් මිසර වැසියන් කෙළේ එවැන්නක් නොවේ. ඔව්හු උත්සවාකාරයෙන් ඔබේ සෙනඟ පිළිගත්හ. ඔවුන්ට සමාන අයිතිවාසිකම් දුන් පසු වහල් සේවයෙන් ඔවුන්ට දුක් දුන්නො‍් ය. 17දැහැමියාගේ දොරකඩ දී පෙර කී අයට වූවාක් මෙන් ඔවුන්ගේ ඇස් අන්ධ විය. අන්ධකාරය ඔවුන් වටේට ම කට අයාගෙන සිටිද්දී සැම කෙනෙකුට ම තමාගේ දොරින් යාම සඳහා අතපතගාන්නට සිදු විය. 18වීණාවක ධ්වනිය නිරතුරු රැකගෙන ස්වර හඬ මඟින් තාලය වෙනස් වෙන්නාක් මෙන් ලෝක මහා භූතයන්ගේ ලක්ෂණ ද වෙනස් විය. සිද්ධීන් ගැන පරීක්ෂා කරන විට මෙය පැහැදිලි ව පෙනේ. 19ගොඩබිම වසන සත්තු ජලචර සත්වයෝ වූ හ. පීනන සත්තු ගොඩබිමට පැමිණියාහ. 20ජලය තුළ ගින්නේ රශ්මිය වැඩි විය. යමක් නිවන ගුණය ජලයෙන් නැති විය. 21තවද, ගින්න ඒ මැදට පැමිණි, දුර්වල සතුන්ගේ මාංසයට කාවැදුණ නමුත්, එය නොදැවුණේ ය. හිම කැට පහසුවෙන් දිය වී යන නමුත්, එබඳු ස්වර්ගික ආහාරය ගින්නෙන් දිය වී නො ගියේ ය. 22සමිඳුනි, සැබැවින් ම ඔබ ඔබේ සෙනඟ සැම අතින් ම ශ්‍රේෂ්ඨ කළ සේක; මහිමයට පත් කළ සේක. ඔබ වහන්සේ ඔවුන් කිසි දා අත් නොහැර, නිරතුරු සැම තැන්හි ඔවුන් හා සිටිමින් ඔවුන්ට ආධාර කළ සේක.