කියවීම්
2027 දෙසැම්බර් 12
Third Sunday of Advent
දවසේ දේව මෙහෙය
First Reading
ශෙපනියා 3: 14-18a
14සියොන් පුරඟන, සොම්නසින් ගී ගයන්න; ජෙරුසලම් වැසියෙනි, කෑමොරගසන්න; ඉශ්රායෙල් ජනයෙනි, ප්‍රීති ප්‍රමෝද වන්න.
15සමිඳාණෝ ඔබට විරුද්ධ ව තිබුණු නඩු තීන්දු අවලංගු කළ සේක; ඔබේ සතුරන් නෙරපාදැමූ සේක; ඉශ්රායෙල්හි රජ වන සමිඳාණෝ ඔබ සමඟ සිටින සේක. විපතට බිය වීමක් තවත් නැත.”
16එදින ජෙරුසලම මෙසේ කියනු ඇත. ”සියොන් නගරය, බිය නොවන්න; ඔබ අත දුබල වන්නට ඉඩ නාරින්න.
17ඔබේ දෙවි සමිඳාණෝ ඔබ සමඟ ය; ඔබට ජය අත් කර දෙන සෙබළාණෝ ය. එතුමාණෝ ඔබ ගැන ප්‍රිය මනාප වන සේක; සිය පෙමින් ඔබට නව ජීවනයක් දෙන සේක; ඔබ ගැන සොම්නස් සිතින් ගී ගයන සේක;
18මංගල දවසක් මෙන් ප්‍රීති වන සේක; ඔබ නින්දාව නොලබන පිණිස ඔබ අතර විනාශය පහකරන සේක.
Responsorial Psalm
යෙසායා 12: 2-3, 4, 5-6
2බලන්න, දෙවිඳාණෝ මාගේ ගැළවීම ය. මම එතුමාණන් කෙරෙහි විශ්වාසය තබමි; එතුමන් කෙරෙහි මට බියක් නැත. මන්ද, සමිඳාණෝ මාගේ ශක්තියත්, ගීතිකාවත් ය. එතුමාණෝ මාගේ ගැළවීම ය.”
3ඔබ ගැළවීමේ ළිංවලින් ප්‍රීතියෙන් දිය ඇදගන්නහු ය.
4ඒ දවසේ දී සෙනඟ මෙසේ පැසසුම් ගී යන්නෝ ය: ”සමිඳුන්ට තුති පුදන්න; එතුමන්ගේ නම පවසා අයැදින්න. එතුමන්ගේ ක්‍රියා ජාතීන් අතර පවසන්න. එතුමන්ගේ නාමයේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්න.
5සමිඳුන් කළ අරුමපුදුම දේ නිසා පසස් ගී ගයන්න; මුළු ලොවට ම ඒ ගැන දන්වන්න.
6සියොන් වැසි සියල්ලෙනි, මොරගසා ගී ගයන්න; ඉශ්රායෙල් ශුද්ධ දෙවිඳාණන් උතුම් වන බැවින් ද සිය සෙනඟ අතරේ වැඩ සිටින බැවින් ද සතුටින් හඬ නඟා ගී ගයන්න.”
Second Reading
පිලිප්පි 4: 4-7
4සමිඳාණන් වහන්සේ තුළ නිතර ම ප්‍රීති වන්න. ප්‍රීති වන්නැ යි නැවතත් කියමි.
5ඔබගේ ගුණ යහපත්කම සියලු මනුෂ්‍යයන්ට දැනගන්නට ලැබේ වා. සමිඳාණන් වහන්සේ විගස වඩින සේක.
6ඔබ කිසිවක් ගැන කරදර නොවී, සියල්ලෙහි දී ස්තුති පූර්වක ව, යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබගේ අයැදීම් දෙවියන් වහන්සේට දන්වන්න.
7එවිට සියලු නැණනුවණ ඉක්මවා යන දෙවියන් වහන්සේගේ සාමදානය, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් ඔබගේ සිතුම් පැතුම් ආරක්ෂා කරන්නේ ය.
Alleluia
යෙසායා 61: 1
1මහෝත්තම දෙවි සමිඳුන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි පිහිටා ඇත. දිළිඳුන්ට සුබ අස්න දෙසීමට ද බිඳුණු සිත් ඇත්තන්ට සුව සෙත දීමට ද වහලුන්ට මිදීම දානය කරන්න ද සිරකරුවන්ට නිදහස දන්වන්න ද එතුමාණෝ මා ආලේප කළ සේක.
Gospel
ශුද්ධ වූ ලූක් 3: 10-18
10එවිට ජනකාය, ”එසේ නම් අප කුමක් කළ යුතු දැ”යි ඔහුගෙන් ඇසූ හ.
11ඔහු උත්තර දෙමින්, ”අඳන දෙකක් ඇති අය නැති අයට දෙත් වා; කෑම ඇති අය කෑම නැති අයට දෙත් වා”යි කී ය.
12අයකැමියෝ ද බව්තීස්ම-ස්නාපනය ලබන්ට අවුත්, ”ගුරුදේවයිනි, අප කුමක් කළ යුතු දැ”යි ඔහුගෙන් ඇසූ හ.
13නියමිත පමණට වැඩියෙන් අය බදු නොගන්නැ”යි ඔහු ඔවුන්ට කී ය.
14හේවායෝ ද, ”ඉතින් අප කළ යුත්තේ කුමක් දැ”යි ඇසූ හ. ”කිසිවෙකුගෙන් බලහත්කාරයෙන් වත් බොරු චෝදනා නැඟීමෙන් වත් කිසිවක් පැහැර නොගන්න. ඔබට ලැබෙන වැටුපෙන් සෑහී සිටින්නැ”යි ඔහු ඔවුන්ට කී ය.
15මේ ක්‍රිස්තුවරයා විය හැකි දැ”යි සෙනඟ අපේක්ෂාවෙන් බලා සිටිය දීත්, හැම දෙන ජොහන් ගැන විවාද කරමින් සිටිය දීත්,
16ජොහන් සියල්ලන්ට පිළිතුරු දෙමින්, ”මම නම්, ඔබ වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි; එහෙත් මට වඩා ආනුභාව සම්පන්න උතුමෙක් එන්නේ ය; එතුමන්ගේ පාවහන් පටි මුදන්ට වත් මම නොවටිමි; එතුමාණෝ ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද ඔබ බව්තීස්ම-ස්නාපනය කරවන සේක.
17කමත හොඳ හැටි පිරිසිදු කරන පිණිසත්, ධාන්‍ය පොළා සිය අටුවෙහි රැස් කරන පිණිසත්, උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත; එහෙත් බොල් නොනිවෙන ගින්නෙන් දවනු ලැබේ ය”යි කී ය.
18මෙසේ තවත් බොහෝ අනුශාසනා මඟින් ඔහු සමූහයාට සුබ අස්න දේශනා කෙළේ ය.