දෙසැම්බර් 2027

බ්‍ර සි සෙ
1234
567891011
12131415161718
19202122232425
262728293031
අද දිනට

කියවීම්

2027 දෙසැම්බර් 20

Advent Weekday (O Clavis David)

දවසේ දේව මෙහෙය
First Reading

යෙසායා 7: 10-14

10සමිඳාණන් වහන්සේ ආහාස්ට තවත් පණිවුඩයක් යවමින්, 11නුඹට ලකුණක් දෙන ලෙස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් ඉල්ලන්න; ගැඹුරු පාතාලයෙන් හෝ ඉහළ අහසෙන් හෝ එය පැමිණෙන ලෙස ඉල්ලන්නැ”යි වදාළ සේක. 12එහෙත්, ආහාස් උත්තර දෙමින්, ”මම නොඉල්ලමි; සමිඳාණන් වහන්සේ පරීක්ෂා නොකරමි”යි කී ය. 13එයට යෙසායා මෙසේ පිළිතුරු දුන්නේ ය: ”එම්බා දාවිත්ගේ වංශය, දැන් සවන් දෙන්න; නුඹලා මාගේ දෙවියන් වහන්සේගේ ඉවසීම වෙහෙසන්නේ, නුඹලා මනුෂ්‍යයන්ගේ ඉවසීම වෙහෙසනවා මදිවාට ද? 14සමිඳාණන් වහන්සේ ම නුඹලාට ලකුණක් දෙන සේක. බලන්න, කන්‍යාවක් පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරන්නී ය; එම්මානුවෙල් යන නම ඔහුට තබන්නී ය.
Responsorial Psalm

ගීතාවලිය 24: 1-2, 3-4ab, 5-6

1පොළොව හා එහි ඇති සෑම දෙය ද සකල ලෝ වාසීහු ද සමිඳුන් සන්තක වෙති. 2මුහුදු ජලය පිට පොළොව පිහිටුවා, සයුරු පත්ලෙහි එය ස්ථාපිත කෙළේ එතුමාණෝ ය. 3හිමි තුමන්ගේ කන්දට නඟින්නට ශුද්ධ කවුරු ද? එතුමන්ගේ ශුද්ධ දෙව් මැදුරෙහි නවතින්නට හැකි කාට ද? 4ක්‍රියාවෙන් පිරිසිදු, සිතින් නිර්මල, නිෂ්ඵල දෙයට වැඳුම්පිදුම් නොකරන, බොරුවට නොදිවුරන, තැනැත්තාට ය. 5එවැනි අයට සමිඳාණෝ ආසිරි දෙති; මිදුම්කාර දෙවිඳාණෝ මොක් සුව දෙති. 6දෙවිඳුන් සොයා යන්නෝ ද ජාකොබ්ගේ දෙවිඳුන්ගේ සරණ පතා යන්නෝ ද එවැනි අය ය.
Gospel

ශුද්ධ වූ ලූක් 1: 26-38

26සවැනි මස, ගාබ්‍රියෙල් නම් දේව දූතයා දෙවියන් වහන්සේ විසින් ගලීලයේ නාසරෙත් නම් නුවර විසූ, 27දාවිත් රජ පරපුරෙන් පැවත එන ජෝසෙප් නම් මනුෂ්‍යයෙකු හට විවාහ ගිවිසුම් දී සිටි කන්‍යාවක වෙත යවන ලදී. ඒ කන්‍යාවගේ නම මරියා ය. 28දේව දූතයා ඈ සිටි තැනට පැමිණ, ”විපුල ප්‍රසාදලත් උත්තමිය, ඔබට මංගල වේ; සමිඳාණන් වහන්සේ ඔබ සමඟ ය”යි කී ය. 29එහෙත්, ඈ ඒ වදන් අසා අතිශයින් කැළඹී මේ කෙබඳු ආචාරයක් දැ යි සිත සිතා සිටියා ය. 30දේව දූතයා ඈට කතා කොට, ”මරියාණනි, බිය නොවන්න, ඔබ දෙවියන් වහන්සේගෙන් වරප්‍රසාදය ලද්දෙහි ය. 31මේ බලන්න, ඔබ පිළිසිඳගෙන පුතෙකු ලබන්නෙහි ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තබන්න. 32උන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේක, පරමෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක; උන් වහන්සේගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙවි ස්වාමීන් වහන්සේ උන් වහන්සේට ප්‍රදානය කරන සේක; 33උන් වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරෙහි සදහට ම රජකම් කරන සේක; උන් වහන්සේගේ රාජ්‍යය කෙළවරක් නොදක්නේ ය”යි කී ය. 34එවිට මරිය තුමී දේව දූතයාට කතා කොට, ”මට පුරුෂයෙකු නැති බැවින් මෙ‍වැන්නක් කෙසේ විය හැකි දැ”යි ඇසුවා ය. 35දේව දූතයා ඈට උත්තර දෙමින්, ”ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක; පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ද ඔබ වසාගන්නේ ය. එහෙයින් උපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක. 36බලන්න, ඔබේ ඥාතිවරිය වන එලිසබෙත් ඇගේ මහලු වයසේ දී පුතෙකු පිළිසිඳගත්තා ය. වඳ යයි කී ඇයට දැන් සවැනි මාසය ය. 37මක්නිසා ද, දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැතැ”යි කීවේ ය. 38මරිය තුමී කතා කරමින්, ”බලන්න, මම සමිඳාණන් වහන්සේගේ දාසිය වෙමි; ඔබ පැවසූ ලෙස ම මට ඉටු වේ වා”යි කීවා ය. එවිට දේව දූතයා ඈ කෙරෙන් වෙන් ව ගියේ ය.