කියවීම්
2027 දෙසැම්බර් 16
Advent Weekday
දවසේ දේව මෙහෙය
First Reading
යෙසායා 54: 1-10
1දරුවන් නොලැබූ වඳ ස්ත්‍රියක වැනි ජෙරුසලම, ගී ගයන්න. ප්‍රසව වේදනාව නොවින්ද නුඹ ගී හඬ නඟා මොරගසන්න. මන්ද, විවාහක ස්ත්‍රියගේ දරුවන්ට වඩා, අත්හරිනු ලැබූ ගැහැණියක වැනි නුඹට දරු සම්පත් බොහෝ වෙති”යි සමිඳාණෝ වදාරන සේක.
2නුඹේ කූඩාරම පිහිටා ඇති ස්ථානය විශාල කරන්න. එහි සීමා පළල් කරන්න; පසු නොබසින්න; ලණු දික් කරගෙන ඇබ සවි කරන්න.
3මන්ද, නුඹේ සීමා වමටත් දකුණටත් පැතිරී යනු ඇත. නුඹේ දරු පරපුර ජාතීන්ගේ දේශ හිමි කරගෙන පාළු වී ඇති නගර වැසියන්ගෙන් පුරවනු ඇත.
4බිය නොවන්න; නුඹ නැවත ලජ්ජාවට පැමිණෙන්නේ නැත. නොකැළඹෙන්න, නුඹ නින්දාවට පත් වන්නේ නැත. නුඹේ යොවුන් වියෙහි ලජ්ජාව නුඹ අමතක කරන්නෙහි ය. නුඹේ වැන්දඹුකමේ නින්දාව තවත් සිහි නොකරන්නෙහි ය.
5නුඹේ මැවුම්කාරයාණෝ නුඹේ ස්වාමි පුරුෂයා මෙන් වන සේක. එතුමන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය. ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැන් වහන්සේ නුඹේ මිදුම්කාරයාණෝ ය. ‘මුළු පොළොවේ දෙවිඳාණෝ ය’යි එතුමන්ට කියනු ලබන්නේ ය.
6ඉශ්රායෙල්, නුඹ සිය පුරුෂයා විසින් අත්හරිනු ලැබූ අතිශයෙන් ශෝකයට පත් වී සිටින තරුණ භාර්යාවක වැන්න. එහෙත්, සමිඳාණන් එතුමන් වෙත නුඹ කැඳවා ඇත.” නුඹේ දෙවිඳාණෝ නුඹට මෙසේ වදාරන සේක:
7මම ස්වල්ප කලකට නුඹ අත්හළෙමි. එහෙත් මහා දයානුකම්පාවෙන් නැවත නුඹ කැඳවාගන්නෙමි.
8ඉමහත් උදහසින් මොහොතකට මාගේ මුහුණ නුඹ කෙරෙන් සඟවාගතිමි. එහෙත්, නොමියෙන සුලු ප්‍රේමයකින් මම නුඹට අනුකම්පා කරන්නෙමි.” නුඹේ මිදුම්කාරයාණන් වන සමිඳාණෝ මෙසේ වදාරන සේක:
9නෝවාගේ කාලයේ ඇති වූ ජලගැල්ම මට සිහි වේ. ඒ කාලයේ ඇති වූවාක් මෙන් නුඹ කෙරෙහි උදහස් නොවන බවටත්, නුඹට තරවටු නොකරන බවටත් මම දිවුරුම් දෙන්නෙමි.
10කඳු පහ ව ගියත්, හෙල් සෙලවුණත්, නුඹට ඇති මාගේ තිර පෙම පහ වෙන්නේ වත්, මාගේ ගිවිසුම සෙලවෙන්නේ වත් නැත. මෙසේ වදාරන්නේ නුඹට අනුකම්පා කරන සමිඳාණන් වන මම ය.”
Responsorial Psalm
ගීතාවලිය 30: 2 and 4, 5-6, 11-12a and 13b
2මාගේ දෙවි සමිඳුනි, ඔබට යාදිනි කීවෙමි, ඔබ මට සුව සෙත දුන් සේක.
4පින්වතුනි, සමිඳුන්ට ගී පසස් නඟන්න; ඒ නිර්මල නාමයට තුති ගී ගයන්න.
5මන්ද, එතුමන්ගේ උදහස ඇසිල්ලකට පමණ ය. එතුමන්ගේ කරුණාව දිවි ඇති තාක් ය. රැයේ හැඬීම පවතියි; උදය ප්‍රීතිය උදා වෙයි.
6සැප සම්පතේ දී කිසිදාක මම නොසෙල්වෙන්නෙමි”යි කියා ගතිමි.
11ඔබ මාගේ දොම්නස සොම්නසට හැරෙවු සේක. ඔබ මාගේ ගෝණි රෙදි මුදා තුටු පිළියෙන් මා සැරසූ සේක.
12දැන් ඉතින් මම නිහඬ ව නොසිටිමි. ඔබට ගී පසස් ගයන්නෙමි. මාගේ දෙවි සමිඳුනි, සදහට ම ඔබ හට ගී ගයන්නෙමි.
Alleluia
ශුද්ධ වූ ලූක් 3: 4, 6
4එපවත් දිවැසිවර යෙසායාගේ ලියවිලිවල මෙසේ ලියා ඇත: ”සමිඳුන්ගේ මඟ පිළියෙළ කරන්න, එතුමන් හට ඇද නැති මාවත් සාදන්න.
6සියලු කඳු හා හෙල් සමතලා කරනු ලැබේ; සියලු වංගු ඇද හරිනු ලැබේ; රළු මාවත් මට්ටම් කරනු ලැබේ. දෙවියන් කෙරෙන් වන විමුත් මඟ මනු සත දකිනු ඇතැ යි පාළුකරයෙහි මොරගා කියන හඬෙකි.”
Gospel
ශුද්ධ වූ ලූක් 7: 24-30
24ජොහන්ගේ දූතයන් නික්ම ගිය විට උන් වහන්සේ ජොහන් ගැන පිරිසට කතා කරමින්, ”ඔබ කුමක් බැලීමට වනයට ගියහු ද? සුළඟින් සැලෙන බට ගසක් ද?
25කුමක් බැලීමට ගියහු ද? සිනිඳු පිළියෙන් සැරසුණු මිනිසෙකු ද? බලන්න, විසිතුරු වස්ත්‍ර හැඳ, සැප විහරණයෙන් කල් යවන්නෝ නම් රජ මැඳුරුවල සිටිති.
26එසේ නම් ඔබ කුමක් බැලීමට ගියහු ද? දිවැසිවරයෙකු බැලීමට ද? එසේ ය, මම ඔබට කියමි; ඔහු දිවැසිවරයෙකුටත් වඩා ශ්‍රේෂ්ඨයෙකි,
27‘බලන්න, මාගේ දූතයා ඔබ පෙරටුව යවමි, හෙතෙම ඔබ වඩිනා මඟ ඔබ ඉදිරියෙහි පිළියෙළ කරන්නේ ය’යි ශුද්ධ ලියවිල්ලේ ලියා ඇත්තේ මොහු ගැන ය.
28මුළු මිනිස් සංහතිය තුළ ජොහන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් නැතැ යි මම ඔබට කියමි. එහෙත් දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි ඉතා සුළු තැනැත්තේ වුව ද ඔහුට වඩා ශ්‍රේෂ්ඨය”යි වදාළ සේක.
29ඒ ඇසූ මුළු පිරිස ද අයකැමියෝ ද තමන් ජොහන්ගේ බව්තීස්ම-ස්නාපනය ලැබූ බැවින්, දෙවියන් වහන්සේ ධාර්මික බව පිළිගත්හ.
30එහෙත් පරිසිවරු ද විනයධරයෝ ද ඔහුගෙන් බව්තීස්ම-ස්නාපනය නොලැබූ බැවින් තමන් පිළිබඳ දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ප්‍රතික්ෂේප කළහ.