දෙසැම්බර් 2027

බ්‍ර සි සෙ
1234
567891011
12131415161718
19202122232425
262728293031
අද දිනට

කියවීම්

2027 දෙසැම්බර් 19

Fourth Sunday of Advent (O Radix Jesse)

දවසේ දේව මෙහෙය
First Reading

මීකා 5: 1-4a

1හමුදා රැස් කරන්න. සතුරෝ ජෙරුසලම වටලාගෙන සිටිති. ඉශ්රායෙල්හි නායකයන්ට ඔව්හු කෙවිටකින් පහර දෙති. 2එම්බා බෙත්ලෙහෙම් එප්‍රාතා! තී ජුදාහි ගෝත්‍රවලින් ඉතා අල්ප වන්නෙහි ය. එහෙත්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වීමට කෙනෙක් තී කෙරෙන් නැඟී එන්නේ ය. එතුමන්ගේ පෙළපතේ මුල දුරාතීතයෙන් ද පැරණි යුගයෙන් ද එන්නකි.” 3එබැවින් ගැබ්ගෙන සිටින ස්ත්‍රිය දරුවෙකු බිහි කරන තෙක් සමිඳාණන් වහන්සේ සිය සෙනඟ සතුරන්ට පාවා දෙන සේක. එවිට ඔවුන්ගේ සහෝදරයන්ගෙන් ඉතිරි කුඩා පිරිස ඔවුන්ගේ සෙනඟ සමඟ එක් වන්නෝ ය. 4එතුමන් පැමිණි විට, සමිඳාණන් වහන්සේගෙන් ලැබෙන ශක්තියෙන් ද දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයේ මහිමයෙන් ද සිය සෙනඟ පෝෂණය කරනු ඇත. පොළෝ තල වැසියන් සියලු දෙනා එතුමන්ගේ පාලනය පිළිගන්න බැවින්, එතුමන්ගේ සෙනඟ ආරක්ෂා සහිත ව සිටින්නෝ ය.
Responsorial Psalm

ගීතාවලිය 80: 2-3, 15-16, 18-19

2කෙරුබ්වරුන් මත අසුන් අරා දර්ශනය වුව මැනව. එප්‍රායිම්, බෙන්ජමින් සහ මනස්සේ යන අයගේ පෙළපත් අබිමුව තෙදින් වැජඹෙනු මැනව. අප මුදාගැනීමට වැඩිය මැනව. 3අහෝ දෙවිඳුනි! අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව. 15ඔබේ දකුණතින් රෝපණය කළ දේ සැලකුව මැනව; ඔබට ම සවිමත් කරගත් දේ බැලුව මැනව. 16අපේ සතුරෝ එය කපා ගින්නෙන් පුළුස්සා දැමුවෝ ය. ඔබේ බැල්මේ තර්ජනයෙන් ඔව්හු වැනසී යති. 18එවිට අපි කවදාවත් ඔබට පිටුපා නොයන්නෙමු. අපට ජීවත් වීමට ඉඩ දුන මැනව. අපි ඔබේ නාමයෙන් අයැද ඔබ පසසන්නෙමු. 19අහෝ සමිඳුනි! සව් බලැති දෙවිඳුනි! අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.
Second Reading

හෙබ්‍රෙව් 10: 5-10

5එහෙයින්, ක්‍රිස්තුන් වහන්සේ ලෝකයට වඩින කල දෙවියන් වහන්සේට මෙසේ වදාළ සේක: ”ඔබට පුද පඬුරු රිසි නැත. එහෙත් ඔබ මට සිරුරක් සූදානම් කළ සේක; 6දවන පූජා හා පාප පූජා කිසිත් ඔබ සිත් නොගනියි, 7එසේ හෙයින්: දෙවිඳුනි, පොත් වෙළුමේ මා ගැන ලියා ඇති සේ, ඔබ රිසි දේ කරනු වස් මෙන්න, මම ඇවිත් සිටිමි.” 8ව්‍යවස්ථාව අනුව ඔප්පු කරන පුදපඬුරුවලටත්, දවන පූජාවලටත්, පාප පූජාවලටත් ඔබ කැමැති වන්නේ වත් සතුටු වන්නේ වත් නැතැ යි ඉහත කියා: 9මෙන්න ඔබගේ කැමැත්ත කරන්නට මම පැමිණ සිටිමි”යි උන් වහන්සේ දෙවනු ව වදාළ සේක. උන් වහන්සේ දෙවැන්න පිහිටුවන පිණිස පළමුවැන්න අවලංගු කරන සේක. 10ඒ කැමැත්ත පරිදි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය සදහට ම එක වරක් පූජා කිරීමෙන් අපි පාරිශුද්ධිය ලැබ සිටිමු.
Alleluia

ශුද්ධ වූ ලූක් 1: 38

38මරිය තුමී කතා කරමින්, ”බලන්න, මම සමිඳාණන් වහන්සේගේ දාසිය වෙමි; ඔබ පැවසූ ලෙස ම මට ඉටු වේ වා”යි කීවා ය. එවිට දේව දූතයා ඈ කෙරෙන් වෙන් ව ගියේ ය.
Gospel

ශුද්ධ වූ ලූක් 1: 39-45

39දින ගණනකට පසු මරිය තුමී නැඟිට ජුදා කඳුකරයෙහි නුවරකට යුහු ව ගොස්, 40සෙකරියස්ගේ ගෙට ඇතුළු වී, එලිසබෙත් හට ආචාර කළා ය. 41එලිසබෙත් මරිය තුමියගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා ඉපිලෙන්නට වන. එවිට එලිසබෙත් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව, 42මහ හඬින් උදන් අනමින්, ”ඔබ වනිතාවන් අතර අතිශයින් ආශීර්වාද ලද්දී ය. ඔබ කුස ඔත් දරු ඵලය ද ආශීර්වාද ලද්දේ ය. 43මාගේ සමිඳාණන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක් ද? 44මක්නිසා ද ඔබේ ආචාර හඬ මා සවන් ගත වූ කෙණෙහි ම මා කුසෙහි දරුවා ප්‍රීතියෙන් ඉපිලී ගියේ ය. 45සමිඳාණන් වහන්සේගේ නාමයෙන් තමන් හට දුන් පොරොන්දුව ඉටුවන්නේ ම යයි විශ්වාස කළ තැනැත්තී භාග්‍යවන්ත ය”යි කීවා ය.