කියවීම්
2026 මාර්තු 1
Second Sunday of Lent
දවසේ දේව මෙහෙය
Reading I
උත්පත්ති කථාව 12:1-4
1සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට කතා කොට, ”නුඹේ මවු බිම ද නුඹේ නෑදෑයන් ද නුඹේ පියාගේ ගෘහය ද අත්හැරදමා, මා පෙන්වන්නට යන දේශයට යන්න.
2මම නුඹ මඟින් විශාල ජාතියක් ඇති කරන්නෙමි; මම නුඹට ආශීර්වාද කරන්නෙමි; නුඹේ නාමය ආසිරි පැතීමේ නාමයක් වන සේ කීර්තියට පමුණුවන්නෙමි.
3නුඹට ආසිරි පතන අයට මමත් ආසිරි පතමි. නුඹට දෙස් තබන අයට මමත් දෙස් තබමි. නුඹ මගෙන් ආසිරි ලත් අයුරින් මිහි මත සව් සත ආසිරි ලබනු ඇතැ”යි වදාළ සේක.
4ආබ්‍රම්ට වයස අවුරුදු හැත්තෑපහක් වූ කල සමිඳාණන් වහන්සේ ඔහුට වදාළ ලෙසට, ඔහු හාරාන් දේශයෙන් පිටත් විය. ලොත් ද ඔහු සමඟ ගියේය.
Responsorial Psalm
ගීතාවලිය 33:4-5, 18-19, 20, 22.
4සමිඳුන්ගේ වචනය අවංක ය; එතුමන්ගේ ක්‍රියා සියල්ලක් ම විශ්වාසශීලී ය.
5දැහැමි බව හා යුක්තිය එතුමන්ට ප්‍රිය ය. මහ පොළොව හිමි තුමන්ගේ කරුණාවෙන් පිරී ඇත.
18සමිඳුන්ගේ නෙත් දේව ගරුබිය ඇත්තන් කෙරෙහි ය; මරණයෙන් ගළවන පිණිස ද
19දුබික් දුරු කොට දිවි රක්නා පිණිස ද එතුමාණෝ දිවැසින් බලන සේක.
20අපි හිමි තුමන් කෙරේ විශ්වාසයෙන් බලා සිටියෙමු. අපේ පිහිටත්, පලිහත් එතුමාණෝ ය.
22සමිඳුනි, ඔබ කෙරේ අපේ බලාපොරොත්තු පිහිටෙවු ලෙස ම ඔබේ කරුණාව අප කෙරෙහි වේ වා!
Reading II
2 තිමෝති 1:8-10
8එහෙයින් අපේ සමිඳාණන් වහන්සේ උදෙසා සාක්ෂි දැරීම ගැනත්, උන් වහන්සේගේ සිරකරුවා වන මා ගැනත්, ලජ්ජා නොවන්න. එහෙත් දෙවියන් වහන්සේගේ බලය කෙරෙහි විශ්වාසය තබා, සුබ අස්න වෙනුවෙන් දුක් විඳීමෙහි පංගුකාරයෙක් වන්න.
9උන් වහන්සේ අප ගළවා, කැපවූ ජීවිතයකට අප කැඳවූ සේක. එසේ කළේ අපේ ම පුණ්‍ය ක්‍රියාවක් නිසා නොව, උන් වහන්සේගේ ම අභිප්‍රායත් දේව වරප්‍රසාදයත් අනුව ය. මෙය, කාලයාගේ පටන්ගැන්මට පෙර ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ විසින් දෙනලද්දකි.
10එහෙත් මෙය දැන් එළිදරව් කරන ලද්දේ අපේ මිදුම්කාරයාණන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රකාශ වීමෙන් ය. උන් වහන්සේ මරණයේ බලය බිඳදමා, ජීවනයත්, අමරණීය භාවයත්, සුබ අස්න මඟින් හෙළි කර වදාළ සේක.
Verse Before the Gospel
ශුද්ධ වූ මතෙව් 17:5
5ඔහු කතා කරද්දී දීප්තිමත් වලාකුළක් ඔවුන් සිසාරා, පැතිරිණි. තවද, ”මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මම මොහු කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි; මොහුට සවන් දෙන්නැ”යි කියන හඬක් නික්මිණි.
Gospel
ශුද්ධ වූ මතෙව් 17:1-9
1සදවසකට පසු ජේසුස් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ඔහුගේ සහෝදර ජොහන් ද කැඳවාගෙන, වෙන් ව උස් කන්දකට වැඩිය සේක.
2උන් වහන්සේ ඔවුන් අබිමුවෙහි අන්වෙසක් වූ සේක. උන් වහන්සේගේ මුහුණ හිරු මෙන් බැබළිණි; වස්ත්‍ර ද ආලෝකය මෙන් සුදු විය.
3එකෙණෙහි ම මෝසෙස් ද එලියා ද උන් වහන්සේ සමඟ කතා කරමින් සිටිනු ඔවුන්ට පෙනිණි.
4පේදුරු ජේසුස් වහන්සේට කතා කොට, ”ස්වාමීනි, අපට මෙහි සිටින්න ලැබීම වාසනාවකි; ඔබ කැමැති සේක් නම්, මණ්ඩප තුනක්, එකක් ඔබට ද එකක් මෝසෙස්ට ද එකක් එලියාට ද සාදන්නෙමි”යි කී ය.
5ඔහු කතා කරද්දී දීප්තිමත් වලාකුළක් ඔවුන් සිසාරා, පැතිරිණි. තවද, ”මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මම මොහු කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි; මොහුට සවන් දෙන්නැ”යි කියන හඬක් නික්මිණි.
6ශ්‍රාවකයෝ ඒ අසා, අතිශයින් බියපත් වී මුහුණින් වැටුණාහ.
7ජේසුස් වහන්සේ අවුත්, ඔවුන්ට අත ගසා, ”නැඟිටින්න, බිය නොවන්නැ”යි වදාළ සේක.
8ඇස් ඔසවා බැලූ කල ඔව්හු ජේසුස් වහන්සේ හැර වෙන කිසිවෙකු නුදුටුවෝ ය.
9ඔවුන් කන්දෙන් බැස එද්දී ජේසුස් වහන්සේ කතා කරමින්, ”මනුෂ්‍ය-පුත්‍රයාණන් මළවුන් කෙරෙන් නැඟිටින තුරු මේ දර්ශනය කිසිවෙකුට නොකියන්නැ”යි ඔවුන්ට අණ කළ සේක.