කියවීම්
2026 මාර්තු 19
Solemnity of Saint Joseph, Spouse of the Blessed Virgin Mary
දවසේ දේව මෙහෙය
Reading I
සාමුවෙල්ගේ දෙ වන පොත 7:4-5, 12-14, 16
4තවද, එම රාත්‍රියේ සමිඳාණන් වහන්සේගේ පණිවුඩය නාතාන් වෙත පැමිණියේ ය.
5උන් වහන්සේ මෙසේ වදාළ සේක: ”නුඹ ගොස්, සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ යි මගේ මෙහෙකරු වන දාවිත්ට කියන්න:
12නුඹේ ආයු කාලය සම්පූර්ණ වී නුඹේ පියවරුන් සමඟ සැතපුණ කල්හි, මම නුඹෙන් පැවත එන නුඹේ ම දරුවෙකු නුඹට පසු ව රජකමට නංවා ඔහුගේ රාජ්‍යයෙහි ඔහු ස්ථිර කරන්නෙමි.
13ඔහු ම මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නේ ය. ඔහුගේ රාජ්‍යයේ සිංහාසනය ද සදහට ම ස්ථිර කරන්නෙමි.
14මම ඔහුට පියෙක් වන්නෙමි; ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය. ඔහු අයුතුකම් කළොත් මම පියෙකු මෙන් ඔහුට ඉපලෙන් දඬුවම් කරන්නෙමි; මිනිසුන් පහර දෙන සේ ඔහුට පහර දෙන්නෙමි.
16නුඹේ වංශය ද රාජශ්‍රීය ද මා ඉදිරියෙහි සදහට ම ස්ථිර කරනු ලබන්නේ ය. නුඹේ සිංහාසනය සදහට ම පිහිටුවනු ලබන්නේ ය.”
Responsorial Psalm
ගීතාවලිය 89:2-3, 4-5, 27 and 29
2ඔබේ තිර පෙම සදහට ම පවතින බව මම ඒකාන්තයෙන් ම පිළිගනිමි; ඔබේ විශ්වාසවන්තකම අහස මෙන් තිරසර බව මම දනිමි.
3ඔබ මෙසේ වදාළ සේක: ”මා තෝරාගත් තැනැත්තා සමඟ මම ගිවිසුමක් කෙළෙමි; මාගේ සේවක දාවිත්ට මම මෙසේ දිවුළෙමි:
4‘මම ඔබේ පෙළපත සදහට ම පිහිටුවන්නෙමි. පරපුරෙන් පරපුරට ඔබේ සිහසුන ගොඩනඟන්නෙමි.’ ”
5අහෝ සමිඳුනි! ඔබ කරන අසිරිමත් ක්‍රියා ගැන අහස් තලය ගී ගයන්නේ ය. සුරලොව පිරිස් ඔබේ විශ්වාසවන්තකම ගැන ගීතිකා කරන්නෝ ය.
27ඔහු මාගේ කුලුඳුල් පුතණුවන් කොට ද මිහි පිට රජුන් අතර අග රජු කොට ද මම ඔහු පත් කරන්නෙමි.
29ඔහුගේ රාජ වංශය අහස මෙන් තිරසර ව පවතින්නේ ය; ඔහුගේ පෙළපතෙන් ම කෙනෙක් නිරතුරු රජකමට පත් වන්නේ ය.
Reading II
රෝම 4:13, 16-18, 22
13ආබ්‍රහම්ට හෝ ඔහුගේ දරු පෙළපතට හෝ ලෝකය උරුම වන්නේ ය යන පොරොන්දුව කිසි සේත් නීතිය පිළිපැදීම නිසා ඇති වූවක් නොවේ. එය ඇති වූයේ ඇදහිල්ල නිසා සිදු වන දමිටු බව හේතුකොටගෙන ය.
16මේ නිසා දේව පොරොන්දුව වරප්‍රසාදයේ ප්‍රතිඵලයක් වන පිණිස එය ඇදහිල්ල මත රඳා පවතී. එසේ වන්නේ, ආබ්‍රහම්ගේ දරු පෙළපතට අයත් හැමට ම, එනම්, නීතිය අනුව ජීවත් වන අයට පමණක් නොව, අපගේ පියාණන් වන ආබ්‍රහම්ගේ ඇදහිල්ල අනුව ජීවත් වන අයටත්, ඒ පොරොන්දුව වලංගු වන බව සහතික කරන පිණිස ය.
17මම ඔබ බොහෝ ජාතීන්ගේ පියා කොට පත් කෙළෙමි”යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත්තේ මේ නිසා ය. ඒ පොරොන්දුව ආබ්‍රහම් ලැබුවේ තමා අදහන, මළවුන් හට ජීවිතය දෙන, නැති දේ ඇති කරන, දෙවියන් වහන්සේගෙන් ය.
18බලාපොරොත්තු රහිත තත්ත්වයක දී වුව ද ඔහු දෙවියන් වහන්සේගේ පොරොන්දුව විශ්වාස කෙළේ ය. ඔහු බොහෝ ජාතීන්ගේ පියා වූයේ, ”එබඳු මහා පෙළපතක් ඔබට ඇති වන්නේ ය” යන කීම පරිදි ය.
22එබැවින් දෙවියන් වහන්සේ ඔහුගේ ඇදහිල්ල නිසා ඔහු දමිටු බව පිළිගත් සේක.
Verse Before the Gospel
ගීතාවලිය 84:5
5වන්දනාවේ යන පිණිස සිත යොමු කරගත්, ඔබ සරණ කොටගත් අය කොපමණ වාසනාවන්ත ද?
Gospel
ශුද්ධ වූ මතෙව් 1:16, 18-21, 24
16ජාකොබ්ට දාව මරිය තුමීගේ පුරුෂයා වූ ජෝසෙප් ද උපන්නෝ ය; මරිය තුමීගෙන් ක්‍රිස්තුස් නම් වූ ජේසුස් වහන්සේ උපන් සේක.
18ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූයේ මෙසේ ය. උන් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමී ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටිය දී, ඔවුන් එක් වන්න පෙර, ශුද්ධාත්මයාණන් අනුහසින් ඈ ගැබ්ගෙන සිටින බව දැනගන්නා ලදී.
19ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙප්, සත් පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින්, රහසින් ඇය අත්හැරදමන්න සිතාගත්තේ ය.
20එහෙත්, ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටිය දී, සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී, ”දාවිත්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳ වන මරියා පාවාගන්නට බිය නොවන්න; මන්ද, ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසින්.
21ඈ පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතු ය; මන්ද, සිය සෙනඟ ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමාණෝ ය”යි කී ය.
24ජෝසෙප් නින්දෙන් අවදි වූ විට සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට අණ කළ ලෙස, සිය බිරිඳ කැන්දාගෙන ගියේ ය.
Gospel - Alternative
ශුද්ධ වූ ලූක් 2:41-51
41ජේසුස් වහන්සේගේ මවුපියෝ අවුරුදු පතා පාස්කු උළෙල සඳහා ජෙරුසලමට ගියහ.
42උන් වහන්සේ දොළොසැවිරිදි වූ කල, ඔව්හු සිරිත් ලෙස ඒ මංගල්‍යයට ගියහ.
43ඔවුන් නියමිත දවස් ගෙවා පෙරළා එන අතර, ජේසුස් කුමරාණෝ ජෙරුසලමෙහි රැඳුණු සේක; එහෙත්, උන් වහන්සේගේ දෙමවුපියෝ ඒ බව නොදැන,
44උන් වහන්සේ වන්දනාකාර පිරිස සමඟ ඇතැ යි සිතාගෙන, දවසක ගමන් ගොස්, නෑ මිතුරන් අතරෙහි උන් වහන්සේ සෙවූ හ.
45එහෙත් සම්බ නොවූයෙන්, ඔව්හු උන් වහන්සේ සොයමින් ජෙරුසලමට පෙරළා ගියහ.
46තෙදිනකට පසු ඔව්හු උන් වහන්සේ දේව මාලිගාවෙහි පඬිවරයන් මැද වැඩහිඳ ඔවුන් කී දේ අසමින් ද ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින් ද සිටිනු දුටුවෝ ය.
47ඒ ඇසූ සියල්ලෝ ම උන් වහන්සේගේ බුද්ධි මහිමය හා පිළිතුරු ගැන විස්මිත වූ හ.
48දෙමවුපියෝ උන් වහන්සේ දුටු කල මවිත වූ හ. උන් වහන්සේගේ මෑණියෝ, ”පුතා, කුමක් නිසා අපට මෙසේ කෙළෙහි ද? බලන්න, ඔබේ පියා ද මම ද දුකින් තැවි තැවී ඔබ සෙවීමු”යි කී හ.
49එවිට උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඔබ මා සෙව්වේ මන් ද? මා පියාණන්ගේ මැදුරෙහි මා සිටිය යුතු බව ඔබ නොදන්නහු දැ”යි ඔවුන්ට වදාළ සේක.
50එහෙත්, උන් වහන්සේගේ ඒ කීම ඔවුන්ට අවබෝධ නො වී ය.
51උන් වහන්සේ ඔවුන් කැටුව ගොස් නාසරෙත් නුවරට පැමිණ ඔවුන්ට කීකරු වී විසූ සේක. උන් වහන්සේගේ මෑණියෝ මේ සියල්ලක් ම සිත්හි නිදන් කරගත්හ.