මාර්තු 2026

බ්‍ර සි සෙ
1234567
891011121314
15161718192021
22232425262728
293031
අද දිනට

කියවීම්

2026 මාර්තු 18

Wednesday of the Fourth Week of Lent

දවසේ දේව මෙහෙය
Reading I

යෙසායා 49:8-15

8සමිඳාණෝ මෙසේ වදාළ සේක: ”සුදුසු කාලයේ දී මම නුඹට පිළිතුරු දී, ගැළවීමේ දවසේ දී නුඹට උපකාර කරන්නෙමි. මම නුඹ ආරක්ෂාකර, නුඹ මඟින් සියලු මිනිසුන් සමඟ ගිවිසුමක් කරන්නෙමි. දැනට පාළු වී ඇති නුඹේ දේශය නැවත උරුම කරගන්න මම නුඹට දෙන්නෙමි. 9හිරකරුවන්ට, ‘නිදහස් ව යන්න’ කියා ද අඳුරේ සිටින්නන්ට, ‘ආලෝකයට එන්න’ කියා ද මම කියන්නෙමි. හැම මාර්ගයක දී ම ඔවුන්ට කෑම ලැබෙයි. ඔවුන් යන කවර මාවතක දී වුව ද පාළු වී ගිය කඳු මුදුන් පිට ඔවුන්ට ආහාර ඇති වේ. 10ඔවුන්ට සාපිපාසා නොවන්නේ ය. ගිනි අව්වෙන් වත්, මරුකතරෙන් වත් ඔවුන්ට පීඩාවක් නොවන්නේ ය. මන්ද, ඔවුන්ට අනුකම්පා කරන තැනැන් වහන්සේ ඔවුන්ට මඟපෙන්වන සේක. දිය උල්පත් අසලින් ඔවුන් කැඳවාගෙන යන සේක. 11මම කඳු හරහා මහා මාවත් සාදා මාගේ සෙනඟ ගමන් කරන පිණිස මාර්ගයක් සූදානම් කරන්නෙමි. 12මාගේ සෙනඟගෙන් සමහරෙක් දුර බැහැර සිට පැමිණෙති; සමහරෙක් උතුරෙන් හා බස්නාහිරෙන් ද සමහරෙක් සීන්වරුන්ගේ දේශයෙන් ද පැමිණෙති.” 13සගලෝ ගී ගයා වා! පොළොව ප්‍රීති වේ වා! කඳු ප්‍රීතියෙන් පිනා යේ වා! මන්ද, සමිඳාණෝ සිය සෙනඟ සනසන සේක; දුක් විඳින සෙනඟට අනුකම්පා කරන සේක. 14එහෙත්, ජෙරුසලම් වැසියෝ, ”සමිඳාණෝ අප අත්හළ සේක; අප මතක නැති කළ සේකැ”යි කී හ. 15සමිඳාණෝ පිළිතුරු දෙමින් මෙසේ වදාළ සේක: ”මවකට හැකි ද, කුසේ දැරූ බිළිඳා අමතක කරන්න? හැකි ද ඈට ඇගේ ම කිරි දරුවාට පෙම් නොකරන්න? මවක ඇගේ දරුවා අමතක කළත්, මම නම්, කිසිදා නුඹ අමතක නොකරමි.
Responsorial Psalm

ගීතාවලිය 145:8-9, 13-14, 17-18

8සමිඳාණෝ දයාවන්ත ය. අනුකම්පාවෙන් පූර්ණ ය; වහා නොකිපෙන සුලු ය; තිරසර පෙමින් යුතු ය. 9සමිඳාණෝ සියල්ලන්ට කරුණාව පාන සේක; එතුමන්ගේ සුමුදු දයාව මවන ලද සියල්ල ද වෙත පැතිරෙයි. 13ඔබේ රාජ්‍යය සදාකාලික ය, ඔබේ ආධිපත්‍යය ද සියලු පරම්පරාවල ම පවත්නේ ය සමිඳාණෝ සියලු පොරොන්දු ඉටු කරන සේක. තමන් කරන සියල්ලේ දී මෙත් සිත් වඩන සේක. 14වැටෙන දුබලුන් හට සමිඳාණෝ ආධාර කරන සේක. නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවන සේක. 17සමිඳාණෝ සැම අතින් ම සාධාරණ ය, එතුමන්ගේ සියලු ක්‍රියා දයාන්විත ය. 18අයැදින සියල්ලන්ට සමිඳාණෝ ළං ව සිටින සේක. අවංක සිතින් යදින්නන්ට ආසන්න ව සිටින සේක.
Verse Before the Gospel

ශුද්ධ වූ ජොහන් 11:25, 26

25ජේසුස් වහන්සේ කතා කරමින්, පුනරුජ්ජීවනය ද, ජීවනය ද මම වෙමි; මා අදහාගන්නා මැරුණත් ජීවත් වන්නේ ය; 26ජීවත් ව සිටින, මා අදහාගන්න කිසිවෙක් කිසි කලෙක නො මැරෙන්නේ ය. ඔබ මෙය අදහන්නෙහි දැ”යි ඇසූ සේක.
Gospel

ශුද්ධ වූ ජොහන් 5:17-30

17එහෙත්, ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මාගේ පියාණන් වහන්සේ නොනැවතී ම වැඩ කරන සේක; මමත් වැඩකරමි”යි වදාළ සේක. 18මේ කරුණ නිසා ජුදෙව්වරු උන් වහන්සේ මරන්නට වඩ වඩා උත්සාහ දැරූ හ. මන්ද, උන් වහන්සේ සබත කඩ කළා පමණක් නොව, ”දෙවියන් වහන්සේ තමන්ගේ ම පියාණෝ ය”යි කියමින්, තමාත් දෙවියන් වහන්සේට සමාන යයි ප්‍රකාශ කළ නිසා ය. 19ජේසුස් වහන්සේ ඔවුන්ට මෙසේ පිළිතුරු දුන් සේක: ”ඒකාන්තයෙන් ම මම ඔබට කියමි: පුත්‍රයාණන්ට කිසිවක් තනි බලයෙන් කළ නොහැකි ය; පියාණන් වහන්සේ යමක් කරනවා පුත්‍රයා දකින්නේ ද, ඒ දෙය මිස තනි ව ම කිසිවක් කරන්නට උන් වහන්සේට නො හැකි ය. මන්ද, උන් වහන්සේ යම් දෙයක් කරන සේක් ද, ඒ දෙය පුත්‍රයාණෝ ද එසේ ම කරන සේක. 20මන්ද, පියාණන් වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන බැවින්, තමන් වහන්සේ කරන සියලු ක්‍රියා උන් වහන්සේට දක්වා වදාරන සේක. තවද, ඔබ මවිත කරවන සුලු, මීටත් වඩා මහත් ක්‍රියා ද දක්වා වදාරන සේක. 21පියාණන් වහන්සේ මළවුන් උත්ථාන කොට ජීවත් කරවන්නාක් මෙන්, පුත්‍රයාණෝ ද තමන්ට අභිමත වූවන් ජීවත් කරවන සේක. 22සැබැවින් ම පියාණන් වහන්සේ කිසිවකු විනිශ්චය නොකරන සේක. සම්පූර්ණ විනිශ්චය පුත්‍රයාණන් හට පවරා ඇත. 23එසේ කෙළේ, සියලු දෙනා පියාණන්ට මෙන් ම පුත්‍රයාණන්ට ද ගෞරව කරන පිණිස ය. පුත්‍රයාණන්ට ගෞරව නොකරන්නා, පුත්‍රයාණන් එවා වදාළ පියාණන්ට ද ගෞරව නොකරන්නේ ය. 24ඒකාන්තයෙන් මම ඔබට කියමි: මාගේ වචනය අසා, මා එවා වදාළ තැනැන් වහන්සේ අදහාගන්නාට සදාතන ජීවනය ඇත; ඔහු විනිශ්චයට නොපැමිණෙයි; ඔහු මරණයෙන් ජීවනයට පැමිණ සිටියි. 25ඒකාන්තයෙන් මම ඔබට කියමි: දේව පුත්‍රයාණන්ගේ හඬ මළවුන් හට ඇසෙන පැය පැමිණෙන්නේ ය; දැනට ම පැමිණ ඇත; සවන් දෙන අය ජීවත් වෙති. 26පියාණන් වහන්සේට තමන් තුළ ම ජීවනය තිබෙන්නාක් මෙන් ම, පුත්‍රයාණන්ටත් තමන් තුළ ජීවනය ඇති ව සිටින්නට උන් වහන්සේ වරය දුන් සේක. 27තවද, උන් වහන්සේ මනුෂ්‍ය-පුත්‍රයාණන් වන බැවින් විනිශ්චය කිරීමේ අධිකාරි බලය ද උන් වහන්සේට දෙවා වදාළ සේක. 28මේ ගැන මවිත නොවන්න; මන්ද, සොහොන්ගත සියල්ලන්ට උන් වහන්සේගේ හඬ ඇසෙන පැය පැමිණෙන්නේ ය. 29එවිට, යහපත කළ අය සදාතන ජීවනය සඳහා උත්ථාන කරනු ලබති; අයහපත කළ අය විනිශ්චය සඳහා උත්ථාන කරනු ලබති. 30මාගේ තනි බලයෙන් මට කිසිත් කළ නො හැකි ය. අණ ලත් පරිද්දෙන් ම මම විනිශ්චය කරමි. මාගේ විනිශ්චය සාධාරණ ය. මන්ද, මාගේ අරමුණ, මාගේ ම කැමැත්ත ඉටු කිරීම නොව, මා එවා වදාළ උන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීම ය.”