කියවීම්
2026 මාර්තු 22
Fifth Sunday of Lent
දවසේ දේව මෙහෙය
Reading I
එසකියෙල් 37:12-14
12එබැවින් නුඹ දිවැස් වැකි පවසමින්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි කියන්න. ‘මාගේ ජනයෙනි, මම නුඹලාගේ සොහොන් විවර කොට නුඹලාගේ සොහොන්වලින් නුඹලා නැඟුටුවා, නුඹලා ඉශ්රායෙල් රටට පමුණුවන්නෙමි.
13එම්බා මාගේ සෙනඟෙනි! මා නුඹලාගේ සොහොන් විවර කොට, නුඹලාගේ සොහොන්වලින් නුඹලා නැඟිටෙව් විට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.
14නුඹලා ජීවත් වන පිණිස මම නුඹලා තුළ මාගේ ආත්මානුභාවය නිදන් කර නුඹලාගේ රටෙහි නුඹලා පිහිටුවන්නෙමි.’ මෙසේ, ස්වාමීන් වන මා එසේ වදාළ බව ද එය ඉටු කළ බව ද නුඹලා දැනගන්නහු ය. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.”
Responsorial Psalm
ගීතාවලිය 130:1-2, 3-4, 5-6, 7-8
1සමිඳුනි, දුක් සයුරේ සිට මම ඔබට මොරගසමි.
2සමිඳුනි, මාගේ හඬට සවන් දුන මැනව, මාගේ කන්නලව්වට ඔබේ කන් යොමු කළ මැනව.
3සමිඳුනි, ඔබ අපේ අයුතුකම් සටහන් කර තබන සේක් නම්, විනිශ්චයයෙන් බේරෙන්නට පුළුවන් කවරෙකුට ද?
4එහෙත්, ඔබ කෙරෙහි ගරුබියෙන් සිටින පිණිස ඔබ අපට කමාව දෙන සේක.
5මම සමිඳුන්ගේ උපකාරය උදක් ම බලා සිටිමි. එතුමන්ගේ වචනය කෙරෙහි බලාපොරොත්තුව තබමි.
6පහන් වන තුරු බලා සිටින මුරකරුන්ට වඩා, එසේ ය, එළිය වැටෙන තුරු බලා සිටින මුරකරුන්ට වඩා මම සමිඳුන් එන තුරු බලා සිටිමි.
7එම්බා ඉශ්රායෙල් ජනයෙනි! සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු වන්න. මන්ද, සමිඳුන්ගේ ප්‍රේමය තිරසර ය. ගැළවීම මුළුමනින් ම එතුමන් අතෙහි ය.
8එතුමාණෝ ඉශ්රායෙල් ජනයා ඔවුන්ගේ පාප සියල්ලෙන් මුදා හරින සේක.
Reading II
රෝම 8:8-11
8මාංසික තෘෂ්ණාවලට වසඟවූවන්ට දෙවියන් වහන්සේ සතුටු කළ නොහැකි ය.
9එහෙත් දෙවියන් වහන්සේගේ ආත්මයාණෝ සැබැවින් ම ඔබ තුළ වාසය කරන සේක් නම්, ඔබ ජීවත් වන්නේ මාංසික තෘෂ්ණාවල නොව, ආත්මයාණන් තුළ ය. යම් කෙනෙකුට ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයාණන් නැති නම්, ඔහු උන් වහන්සේට අයිති නැත.
10එහෙත් ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුළ වැඩ වසන සේක් නම්, පාපය නිසා ඔබේ ශරීරය මැරී ඇතත්, දමිටු බව නිසා ඔබේ ආධ්‍යාත්මය ජීවමාන ය.
11තවද, ජේසුස් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන කළ තැනැන් වහන්සේ ඔබ තුළ වැඩ වසන සේක් නම්, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන කළ තැනැන් වහන්සේ ඔබ තුළ වසන ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඔබගේ මරණීය ශරීර ජීවමාන කරන සේක.
Verse Before the Gospel
ශුද්ධ වූ ජොහන් 11:25, 26
25ජේසුස් වහන්සේ කතා කරමින්, පුනරුජ්ජීවනය ද, ජීවනය ද මම වෙමි; මා අදහාගන්නා මැරුණත් ජීවත් වන්නේ ය;
26ජීවත් ව සිටින, මා අදහාගන්න කිසිවෙක් කිසි කලෙක නො මැරෙන්නේ ය. ඔබ මෙය අදහන්නෙහි දැ”යි ඇසූ සේක.
Gospel
ශුද්ධ වූ ජොහන් 11:1-45
1මරියා සහ ඇගේ සොහොයුරිය වූ මාර්තාගේ ගම වන බෙතානියෙහි ලාසරස් නම් එක්තරා මිනිසෙක් අසනීපයෙන් සිටියේ ය.
2මේ මරියා වනාහි, සමිඳාණන් වහන්සේ සුවඳ විලේපනයෙන් ආලේප කර, සිය හිසකේවලින් උන් වහන්සේගේ පාද පිස දැමූ තැනැත්තිය ය. රෝගාතුර ව සිටි ලාසරස් ඇගේ සහෝදරයා ය.
3එබැවින් ඒ සොහොයුරියෝ, ”ස්වාමීනි, ඔබගේ හිතමිතුරා අසනීපයෙන් සිටී ය”යි උන් වහන්සේට දන්වා යැවූ හ.
4ඒ ඇසූ කල ජේසුස් වහන්සේ කතා කොට, ”මේ රෝගය මරණයෙන් කෙළවර වන්නක් නොවේ; මෙය දේව මහිමය සඳහා ය; මෙයින් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ මහිමයට පමුණුවනු ලබන සේකැ”යි වදාළ සේක.
5ජේසුස් වහන්සේ මාර්තාට ද ඇගේ සොහොයුරියට ද ලාසරස්ට ද ප්‍රේම කළ සේක.
6එහෙත් ඔහු අසනීපයෙන් සිටින බව උන් වහන්සේට සැළ වූ පසු, තමන් සිටි ස්ථානයෙහි ම දෙදිනක් නතර වී සිටි සේක.
7ඉන්පසු උන් වහන්සේ ශ්‍රාවකයන් අමතා, ”අපි යළිත් ජුදා දේශයට යමු”යි වදාළ සේක.
8ශ්‍රාවකයෝ ද, ”ගුරුදේවයෙනි, මේ ළඟ දී ජුදෙව්වරු ඔබට ගල් ගසන්නට මාන බැලූ හ. ඉදින් ඔබ නැවතත් එහි වඩින සේක් දැ”යි ඇසූ හ.
9ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”දිවා කාලයට දොළොස් පැයක් තිබෙනවා නොවේ ද? යමෙක් දවල් කාලයෙහි ඇවිදින්නේ නම්, මෙලොව එළිය ඔහුට පෙනෙන බැවින් ඔහු නොපැකිළෙයි.
10එහෙත් යමෙක් රාත්‍රි කාලයෙහි ඇවිදින්නේ නම්, ඔහු තුළ එළිය නැති නිසා ඔහු පැකිළේ ය”යි පැවසූ ජේසුස් වහන්සේ නැවතත් ඔවුන් අමතා,
11අප හිතමිත්‍ර ලාසරස් සැතපී සිටියි; ඔහු පුබුදුවන පිණිස යන්නෙමි”යි වදාළ සේක.
12එවිට ශ්‍රාවකයෝ කතා කොට, ”ස්වාමීනි, ඔහු සැතපී සිටී නම් ඔහුට සුව වනු ඇතැ”යි කී හ.
13සැතපීම යන්නෙන් ජේසුස් වහන්සේ අදහස් කෙළේ ලාසරස්ගේ මරණය ය. එහෙත් ඔවුන් එය තේරුම්ගත්තේ නිදාගැන්ම යනුවෙනි.
14එබැවින් ජේසුස් වහන්සේ පැහැදිලි ලෙස කතා කරමින්, ”ලාසරස් මියගොස් ඇත.
15ඔබ විශ්වාස කරන පිණිස, ඔබගේ ම යහපත සඳහා, මා එහි නොසිටීම ගැන ප්‍රීති වෙමි. එසේ වී නමුත්, අපි ඔහු වෙතට යමු”යි වදාළ සේක.
16‘නිවුන්නා’ යයි නම් ලත් තෝමස් අනෙක් ශ්‍රාවකයන් අමතා, ”උන් වහන්සේ සමඟ නසින පිණිස අපිත් යමු”යි කී හ.
17ජේසුස් වහන්සේ වැඩම කළ විට, ලාසරස් සොහොන් ගෙයි තබා එදිනට දින සතරක් වූ බව දැනගත් සේක.
18බෙතානිය ජෙරුසලමට ආසන්න ය; දුර කිලෝමීටර් තුනක් පමණ ය.
19මාර්තාගේ හා මරියාගේ සහෝදරයාගේ මරණය ගැන අසා, ඔවුන් සනසන පිණිස ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් පැමිණ සිටියහ.
20ජේසුස් වහන්සේ වඩින බව මාර්තාට ආරංචි වූ විට, ඈ උන් වහන්සේ හමුවන්නට පෙරමඟට ගියා ය. එහෙත් මරියා ගෙදර නැවතී සිටියා ය.
21මාර්තා කතා කරමින්, ”ස්වාමීනි, ඔබ වහන්සේ මෙහි සිටි සේක් නම් මාගේ සහෝදරයා මැරෙන්නේ නැත.
22දැන් වුවත් ඔබ දෙවියන් වහන්සේගෙන් යමක් ඉල්ලුවොත්, දෙවියන් වහන්සේ ඔබට එය දෙන බව මම දනිමි”යි කීවා ය.
23ඔබේ සහෝදරයා නැවත නැඟිටින්නේ ය”යි ජේසුස් වහන්සේ ඇයට වදාළ සේක.
24මාර්තා පිළිතුරු දෙමින්, ”අන්තිම දවසේ, පුනරුජ්ජීවනයේ දී ඔහු නැවත නැඟිටින බව මම දනිමි”යි කීවා ය.
25ජේසුස් වහන්සේ කතා කරමින්, පුනරුජ්ජීවනය ද, ජීවනය ද මම වෙමි; මා අදහාගන්නා මැරුණත් ජීවත් වන්නේ ය;
26ජීවත් ව සිටින, මා අදහාගන්න කිසිවෙක් කිසි කලෙක නො මැරෙන්නේ ය. ඔබ මෙය අදහන්නෙහි දැ”යි ඇසූ සේක.
27ඈ පිළිතුරු දෙමින්, ”ඔබ ක්‍රිස්තුවරයාණන් බවත්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බවත්, ලෝකයට වැඩම කරන්නට සිටි තැනැන් වහන්සේ බවත් මම අදහමි”යි කීවා ය.
28මාර්තා මෙසේ පවසා, ගොස්, ඇගේ සොහොයුරිය වූ මරියා කැඳවා, ”ගුරුදේවයාණෝ වැඩම කර සිටිති; උන් වහන්සේ ඔබ කැඳවති”යි රහසින් කීවා ය.
29ඈ ඒ අසා නැඟිට වහා ම උන් වහන්සේ වෙතට ගියා ය.
30ඒ වන තුරු ජේසුස් වහන්සේ ගමට ඇතුළු නොවී, උන් වහන්සේට මාර්තා හමු වූ ස්ථානයෙහි ම නතර වී සිටි සේක.
31එවිට මරියා සනසමින් ඈ සමඟ ගෙයි සිටි ජුදෙව්වරු, ඈ විගස නැඟිට බැහැර යනු දැක, ඈ හඬන පිණිස සොහොන් ගේ ළඟට යන්නී යයි සිතා ඈ පස්සේ ගියහ.
32මරියා ජේසුස් වහන්සේ සිටි තැනට අවුත්, උන් වහන්සේ දුටු කෙණෙහි පාමුල වැටී, ”ස්වාමීනි, ඔබ වහන්සේ මෙහි සිටි සේක් නම් මාගේ සහෝදරයා මැරෙන්නේ නැතැ”යි කීවා ය.
33ජේසුස් වහන්සේ, ඈ ද ඈ සමඟ ආ ජුදෙව්වරුන් ද හඬනු දැක, සිතින් සුසුම්ලා කැළඹී,
34ඔහු කොතැන තැන්පත් කළාහු දැ”යි ඇසූ සේක. ”ස්වාමීනි, ඇවිත් බැලුව මැනැවැ”යි ඔව්හු කී හ.
35ජේසුස් වහන්සේ හැඬු සේක.
36එබැවින් ජුදෙව්වරු, ”බලන්න, උන් වහන්සේ මොහුට ප්‍රේම කළ තරම ය”යි කී හ.
37එහෙත් ඔවුන්ගෙන් සමහරෙක්, ”අන්ධයාගේ ඇස් පෑදුවේ උන් වහන්සේ නොවෙත් ද? එසේ නම්, මේ මිනිසාගේ මරණය වළක්වන්නට උන් වහන්සේට නොහැකි වී දැ”යි කී හ.
38එවිට, නැවතත් ජේසුස් වහන්සේ අතිශයින් කැළඹී, සොහොන් ගේ ළඟට පැමිණි සේක. එය වනාහි ගල් ගුහාවකි. එහි කට ගලකින් වසා තිබිණි.
39ගල ඉවත් කරන්නැ”යි ජේසුස් වහන්සේ වදාළ සේක. ”ස්වාමීනි, ඔහු මියගොස් සතර දිනකි, දැන් දුගඳත් ඇතැ”යි මළ තැනැත්තාගේ සොහොයුරියක වූ මාර්තා කීවා ය.
40ජේසුස් වහන්සේ කතා කොට, ”ඔබට ඇදහිල්ල ඇත්නම් ඔබ දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය අත්දකින බව මා කීවා නොවේ දැ”යි ඈට වදාළ සේක.
41එවිට ඔව්හු ගල ඉවත් කළහ. ජේසුස් වහන්සේ ඇස් ඔසවා, ”පියාණෙනි, ඔබ මට සවන් දුන් නිසා මම ඔබට ස්තුති කරමි.
42සැමවිට ම ඔබ මට සවන් දෙන බව මම දැන සිටියෙමි. එහෙත් මා මේ දේ කීවේ ඔබ මා එවා වදාළ බවට අවට සිටින සමූහයා අදහාගන්න පිණිස ය”යි වදාළ සේක.
43උන් වහන්සේ මෙසේ කියා, ”ලාසරස් පිටතට එන්නැ”යි මහ හඬින් වදාළ සේක.
44මැරී සිටි තැනැත්තා පිටතට ආවේ ය; ඔහුගේ අත් පා රෙදි පටිවලින් වෙළා තිබුණේ ය; මුහුණ රෙදි කඩකින් ඔතා තිබුණේ ය. ”මොහුගේ බැමි ලිහා, යන්නට හරින්නැ”යි ජේසුස් වහන්සේ වදාළ සේක.
45මරියා වෙතට ආ ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් ජේසුස් වහන්සේ කළ දේ දැක උන් වහන්සේ අදහාගත්හ.