මාර්තු 2026

බ්‍ර සි සෙ
1234567
891011121314
15161718192021
22232425262728
293031
අද දිනට

කියවීම්

2026 මාර්තු 9

Monday of the Third Week of Lent

දවසේ දේව මෙහෙය
Reading I

රාජාවලියේ දෙ වන පොත 5:1-15

1සිරියාවේ රජුගේ සේනාපතියා වූ නාමන් තමාගේ ස්වාමියා වෙත උත්තමයෙකු ව ගරුබුහුමන් ලැබූ මනුෂ්‍යයෙකු ව සිටියේ ය. මන්ද, ඔහු කරණකොටගෙන සමිඳාණන් වහන්සේ සිරියන්වරුන්ට ජය දී තිබිණි. ඔහු බලසම්පන්න කෙනෙකු වූ නමුත් කුෂ්ඨ රෝගියෙක් විය. 2සිරියන්වරුන්ගේ එක්තරා ආක්‍රමණයක දී ඔවුන් ඉශ්රායෙල් දේශයෙන් කුඩා දැරියක අල්ලාගෙන අවුත් තිබිණි. ඈ නාමන්ගේ භාර්යාවට සේවය කළා ය. 3ඈ වනාහි ඇගේ ස්වාමිදුවට කතා කොට, ”මාගේ ස්වාමියා සමාරියේ දිවැසිවරයා ඉදිරියෙහි පෙනී සිටියොත් හොඳ‍ ය; එවිට ඔහුගේ කුෂ්ඨය සුව කරනු ඇතැ”යි කීවා ය. 4එවිට නාමන් ගොස් ඉශ්රායෙල් දේශයෙන් ආ දැරිය කී දේ එලෙස ම කියා තමාගේ ස්වාමියාට දැන්වී ය. 5සිරියාවේ රජ ද, ”ඉතින් ඔබ එහි යන්න; මම ඉශ්රායෙල් රජුට ලියුමක් හරින්නෙමි”යි කී ය. ඔහු ද රිදී කාසි තිස්දාහකුත්, රන් කාසි හයදාහකුත්, ඇඳුම් කුට්ටම් දසයකුත් රැගෙන පිටත් ව ගියේ ය. 6ඔහු ඒ ලියුම ඉශ්රායෙල් රජු වෙත ගෙනාවේ ය. ”මේ ලියුම ඔබට ලැබුණු විට නාමන් නම් මාගේ සේවකයාගේ කුෂ්ඨය සුව කරන පිණිස ඔහු ඔබ ළඟට එවමි”යි එහි ලියා තිබිණි. 7ඉශ්රායෙල් රජ ලියුම කියවා, පුදුම වී තමාගේ ඇඳුම් ඉරාගෙන, ”මනුෂ්‍යයෙකුගේ කුෂ්ඨය සුව කරන්නට කියා මොහු මට ලියා එවන්නේ යමෙකු මරන්නත්, ජීවත් කරන්නත් මා දෙවියන් වහන්සේ කියා සිතාගෙන ද? මොහු මට විරුද්ධ ව දබරයකට කාරණයක් සොයන හැටි කල්පනා කර බලන්නැ”යි කී ය. 8ඉශ්රායෙල් රජු තමාගේ ඇඳුම් ඉරාගත් බව දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන එලිෂා අසා, ”ඔබ කුමක් නිසා ඔබේ ඇඳුම් ඉරාගන්නෙහි ද? ඔහු මා ළඟට ආවා වේ. එවිට ඔහු ඉශ්රායෙල්හි දිවැසිවර කෙනෙකු සිටින බව දැනගන්නේ ය”යි රජුට කියා යැවී ය. 9මෙසේ නාමන් තමාගේ අශ්වයන් ද රථ ද ඇති ව අවුත් එලිෂාගේ ගෙයි දොරකඩ ළඟ සිටියේ ය. 10එලිෂා කතා කොට, ”ඔබ ගොස් ජොර්දාන් ගඟෙහි සත් වරක් නාන්න; එවිට ඔබේ කුෂ්ඨය සුව වී ඔබේ ශරීරය නැවත පවිත්‍ර වන්නේ ය”යි පණිවුඩකාරයෙකු අත කියා යැවී ය. 11එහෙත්, නාමන් කෝප වී යන්නට ගියේ ය. ඔහු කතා කොට, ”ඔහු පිටතට මා ළඟට අවුත් සිටගෙන, තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය කියා යාච්ඤා කර, කුෂ්ඨය මත්තෙහි තමාගේ අත වනා රෝගියා සුව කරනු ඇතැ යි මම සිතුවෙමි. 12දමස්කයෙහි ගංගා වන අබානා සහ පර්පර් ඉශ්රායෙල් දේශයේ සියලු ගංගා ජලයට වඩා හොඳ‍ නොවේ ද? ඒවායේ ස්නානය කොට පවිත්‍රවන්න මට බැරි දැ”යි ඇසී ය. මෙසේ ඔහු කෝපයෙන් හැරී ගියේ ය. 13ඔහුගේ සේවකයෝ ළඟට අවුත් ඔහුට කතා කොට, ”මාගේ පියාණෙනි, දිවැසිවරයා මහා දෙයක් කරන්න ඔබට කීවේ නම් ඔබ කරන්නේ නැද් ද? එසේ වී නම්, ‘ස්නානය කොට පවිත්‍ර වන්නැ’යි ඔහු ඔබට කී කල එය කරන්න බැරි දැ”යි ඇසූ හ. 14එවිට ඔහු බැස ගොස් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ කීම ලෙස ජොර්දාන් ගඟෙහි සත් වරක් ගිලී ස්නානය කෙළේ ය. ඔහුගේ ශරීරය ද කුඩා ළමයෙකුගේ ශරීරය මෙන් පවිත්‍ර විය. 15එවිට ඔහු තමාගේ මුළු පිරිවර සමඟ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට හැරී අවුත්, ඔහු ඉදිරියේ සිට කතා කොට, ”ඉතින් ඉශ්රායෙල්හි සිටින දෙවියන් වහන්සේ මිස මුළු පොළොවේ වෙන දෙවි කෙනෙකුන් නැති බව දැන් මම දනිමි. එබැවින් දැන් ඔබේ මෙහෙකරුවාගෙන් තෑගි පිළිගත මැනවැ”යි කී ය.
Responsorial Psalm

ගීතාවලිය 42:2, 3; 43:3, 4

2දෙවිඳුන් කෙරෙහි, ජීවමාන දෙවිඳුන් කෙරෙහි, මාගේ සිත පිපාසා වන්නේ ය. මම කවදා අවුත් දෙවිඳුන් ඉදිරියේ පෙනී සිටිම් ද? 3‘ඔබේ දෙවියෝ කොහේ ද’ කියා දවස පුරා මිනිසුන් මට කියන කල මම දිවා රෑ දෙක්හි කඳුළු වගුරුවමි. 3ඔබේ ආලෝකය හා සත්‍යය මට දුන මැනව; ඒවායින් මට මඟපෙන්වීම ලැබී, ඔබේ ශුද්ධ සියොන් පව්වට ආපසු ගොස්, ඔබේ වාසභවනය වන දෙව් මැදුරට පිවිසීමට මට ලැබේවා. 4දෙවියෙනි, මාගේ දෙවියෙනි, එවිට මම දිව්‍ය පූජාසනය වෙත, මාගේ පස්වණක් ප්‍රීතිය වන දෙවිඳුන් වෙත ගොස් වීණා වාදනයෙන් ඔබ පසසන්නෙමි.
Gospel

ශුද්ධ වූ ලූක් 4:24-30

24‘කපර්ණවුමෙ‍හි දී ඔබ විසින් කරන ලදැ යි අප ඇසූ ක්‍රියා ඔබේ උපන් ගම වන මෙ‍හිදීත් කරන්නැ’යි මට කියනු ඇත. සැබැවින් ම මම ඔබට කියමි, ගමේ දිවැසිවරයා ගමට අගේ නැත. 25සහතික ලෙස මම ඔබට කියමි, එලියාගේ කාලයේ දී තුන් අවුරුදු සමසක් මුළුල්ලෙහි අහස පියවී, රට පුරා දැඩි සාගතයක් පැවති අතර, 26ඉශ්රායෙල් රටේ බොහෝ වැන්දඹුවන් සිටි නමුත්, සීදොන් පළාතෙහි ශාරෙපත්හි වැන්දඹුව වෙත මිස අන් කිසිවෙකු වෙතට එලියා නොයවන ලද්දේ ය. 27දිවැසිවර එලිෂාගේ කාලයේ දී ඉශ්රායෙල් රටේ බොහෝ කුෂ්ඨ රෝගීන් සිටි නමුත්, සිරියානු ජාතික නාමන් මිස අන් කිසිවෙක් සුවය නොලැබී ය”යි වදාළ සේක. 28ධර්මශාලාවෙහි සිටි මුළු සමූහයා ඒ අසා කෝපාවිෂ්ට වූ හ. 29ඔව්හු වහා නැඟිට උන් වහන්සේ නුවරින් පිටතට නෙරපා, ප්‍රපාතයට හෙළනුවස් ඔවුන්ගේ නුවර ගොඩනඟා තිබුණු කන්ද අද්දරට ගෙන ගියහ. 30එහෙත් උන් වහන්සේ ජනකාය මැදින් ගමන් කර නික්ම ගිය සේක.