කියවීම්
2026 මාර්තු 15
Fourth Sunday of Lent
දවසේ දේව මෙහෙය
Reading I
සාමුවෙල්ගේ පළමු වන පොත 16:1, 6-7, 10-13
1සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, ”නුඹ කොපමණ කල් සාවුල් ගැන ශෝක වන්නෙහි ද, මම ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකම් කිරීමෙන් පහ කෙළෙමි. දැන් නුඹ තෙල් කුලාව පුරවාගෙන බෙත්ලෙහෙමෙහි සිටින ජෙස්සේ නම් තැනැත්තා වෙත යන්න. මන්ද, ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මම තෝරාගත්තෙමි”යි වදාළ සේක.
6ඔවුන් පැමිණි කල සාමුවෙල් එලියාබ් දෙස බලා, ”සැබැවින් ම සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තේ උන් වහන්සේ ඉදිරියෙහි සිටී”යි තමන්ට ම කියාගත්තේ ය.
7එහෙත්, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, ”ඔහුගේ පෙනීම දෙස වත්, ශරීරයේ උස මහත දෙස වත් නොබලන්න; මන්ද, මම ඔහු ප්‍රතික්ෂේප කෙළෙමි. සමිඳාණන් වහන්සේ මිනිසා බලන්නාක් මෙන් නොබලන සේක. මිනිසා බලන්නේ බාහිර පෙනීම දෙස ය. එහෙත්, සමිඳාණන් වහන්සේ බලන්නේ සිත දෙස ය”යි වදාළ සේක.
10මෙසේ ජෙස්සේ තමාගේ පුත්‍රයන්ගෙන් සත්දෙනෙකු සාමුවෙල් ඉදිරිපිටට එන්නට සැලැස්සුවේ ය. සාමුවෙල් ද, ”මොවුන් එක් කෙනෙකු වත් සමිඳාණන් වහන්සේ තෝරා නොගත් සේකැ”යි ජෙස්සේට කී ය.
11එසේ කියා සාමුවෙල්, ”ඔබේ පුත්‍රයෝ හැම දෙනා ම මෙහි සිටිත් දැ”යි ජෙස්සේගෙන් ඇසී ය. ජෙස්සේ පිළිතුරු දෙමින්, ”තව ඉතිරි ව සිටින්නේ බාලයා ය; ඔහු බැටළුවන් බලාගෙන සිටිනවා ය”යි කී ය. සාමුවෙල් ද, ”පණිවුඩකාරයෙකු යවා ඔහු මෙහි ගෙන්වන්න. ඔහු මෙහි එන තුරු අපි පූජාව ඔප්පු නොකරන්නෙමු”යි ජෙස්සේට කී ය.
12එවිට ජෙස්සේ පණිවුඩකාරයෙකු යවා ඔහු ගෙන් වී ය. ඔහු රතු පැහැයක් ද කඩවසම් පෙනුමක් ද දීප්තිමත් නෙත් යුවලක් ද ඇති කෙනෙකි, සමිඳාණන් වහන්සේ කතා කරමින්, ”නැඟිට මොහු අභිෂේක කරන්න; මොහු ඒ තැනැත්තා ය”යි වදාළ සේක.
13එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන ඒ තැනැත්තා ඔහුගේ සහෝදරයන් ඉදිරියෙහි අභිෂේක කෙළේ ය. එදින පටන් සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය දාවිත් කෙරෙහි පිහිටිණි. සාමුවෙල් නැඟිට ආපසු රාමා නගරයට ගියේ ය.
Responsorial Psalm
ගීතාවලිය 23:1-3, 3-4, 5, 6
1සමිඳාණෝ මා එඬේරාණෝ ය; අග හිඟ මට නොවන්නේ ය.
2එතුමාණෝ නිල් තණ බිම් මත මා සතප්වා, නිසල දිය වෙත පමුණුවා,
3මා පණගන්වන සේක. සිය නාමයේ මහිමය සැලසෙන ලෙස දමිටු මඟ මා ගෙන යන සේක.
4මරණය වැනි ගන’ඳුරු රුදුරු නිම්නය මැදින් ගියත්, ඔබ මා සමඟ බැවින්, මට කිසි බියක් නොවන්නේ ය. ඔබේ කෙවිට ද සැරයටිය ද මා නියත සැනසිල්ල වන්නේ ය.
5ඔබ මාගේ සතුරන් ඉදිරියේ දී, මංගල බොජුනක් පිළියෙළ කර දී, මා සිරස තෙලින් ආලේප කරන සේක. මාගේ කුසලාන උතුරා යන්නේ ය.
6ඔබේ දයාව හා කරුණාව නියත ව, දිවිහිමියෙන් මා අනුව එන්නේ ය. සමිඳුන්ගේ නිවාසය මාගේ සදාතන වාසය වන්නේ ය.
Reading II
එපීස 5:8-14
8මන්ද, වරක් ඔබ අන්ධකාරයෙහි සිටිය නමුත්, දැන් සමිඳාණන් වහන්සේ තුළ ආලෝකයෙහි සිටින්නහු ය.
9ආලෝකයට අයිති දරුවන් මෙන් හැසිරෙන්න. ආලෝකයේ ප්‍රතිඵල නම්, සියලු ආකාර යහපත්කමත්, දමිටුකමත්, සැබෑකමත් ය.
10සමිඳාණන් වහන්සේට ප්‍රිය මනාප දේ කුමක් දැ යි විමසා බලන්න.
11අන්ධකාරයේ නිෂ්ඵල ක්‍රියාවලට හවුල් නොවී, ඒවා එළිකරන්න.
12සැබැවින් ම ඔවුන් රහසිගත ව කරන දේ ගැන කතා කිරීම පවා පිළිකුලකි.
13එහෙත් ආලෝකයෙන් එළි වන සියල්ලේ නියම ස්වභාවය සක්සුදක් සේ පැහැදිලි ව පෙනෙයි.
14එසේ එළි වන දේ ආලෝකය බවට හැරේ. එබැවින් මෙසේ කියා ඇත: ”නිදා සිටින ඔබ අවදි වන්න, මරණින් නැඟිටින්න, එවිට ක්‍රිස්තුන් වහන්සේ ඔබගේ ආලෝකය වන සේක.”
Verse Before the Gospel
ශුද්ධ වූ ජොහන් 8:12
12යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, ”ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය”යි වදාළ සේක.
Gospel
ශුද්ධ වූ ජොහන් 9:1-41
1උන් වහන්සේ වඩිනා කල්හි, උපන් දා සිට අන්ධ වූ මිනිසෙකු දුටු සේක.
2ගුරුදේවයෙනි, මොහු අන්ධ ව ඉපදුණේ මොහු හෝ මොහුගේ දෙමවුපියන් හෝ පව් කළ නිසා දැ”යි ශ්‍රාවකයෝ උන් වහන්සේගෙන් ඇසූ හ.
3ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මොහු අන්ධ ව ඉපදුණේ මොහු වත් මොහුගේ දෙමවුපියන් වත් පව් කළ නිසා නොව; දෙවියන් වහන්සේගේ බලය මොහු තුළ ප්‍රකාශ වන පිණිස ය.
4දිවා කාලය තිබෙන තුරු මා එවා වදාළ තැනැන් වහන්සේගේ ක්‍රියා අප විසින් කළ යුතු ය. රාත්‍රි කාලය පැමිණෙයි; එවිට කිසිවෙකුට ක්‍රියා කළ නොහැකි ය.
5මම ලෝකයෙහි සිටින තුරු ලෝකයේ ආලෝකය වෙමි”යි වදාළ සේක.
6මෙසේ කියමින් උන් වහන්සේ බිමට කෙළ පිඬක් ගසා, එයින් මඬ සාදා, ඔහුගේ නෙත්වල ගල්වා,
7ගොස් සිලෝවම් පොකුණෙන් සෝදා ගන්නැ”යි වදාළ සේක. (සිලෝවම් යන්නෙහි අර්ථය ‘එවන ලද්දේ ය’ යනු යි.) එවිට ඔහු ගොස් සෝදාගෙන පෙනීම ලැබ ආපසු පැමිණියේ ය.
8අසල්වාසීහු ද, පෙර ඔහු සිඟනු දුටු අය ද, ”මේ, අර හිඳගෙන සිඟා කෑ මිනිසා නොවේ දැ”යි ඇසූ හ.
9මේ ඔහු ම ය”යි සමහරු කී හ. ”නැත, ඔහු නොවේ, ඔහුට සමාන අන් අයෙකැ”යි වෙනත් අය, කී හ. එහෙත්, ”මම ඒ මිනිසා ම ය”යි ඔහු කී ය.
10එසේ නම් නුඹේ ඇස් පෑදුණේ කෙසේ දැ”යි ඔව්හු ඔහුගෙන් ඇසූ හ.
11ඔහු පිළිතුරු දෙමින්, ”ජේසුස් නම් කෙනෙක් මඬ සාදා මගේ ඇස්වල ගල්වා, ‘සිලෝවම් පොකුණට ගොස් සෝදාගන්නැ’යි මට කී හ. මම ගොස් සෝදාගෙන පෙනීම ලබාගතිමි”යි කී ය.
12ඒ තැනැත්තා කොහේ දැ”යි ඔව්හු ඇසූ හ. ”මම නො දනිමි”යි ඔහු කී ය.
13ඔව්හු කලින් අන්ධ ව සිටි ඒ තැනැත්තා පරිසිවරුන් වෙතට ගෙන ගියහ.
14ජේසුස් වහන්සේ මඬ පිඬක් සාදා ඔහුගේ ඇස් පෑදුවේ සබත් දවසක දී ය.
15එබැවින් ඔහුට පෙනීම ලැබුණේ කොහොම දැ යි නැවතත් පරිසිවරු ඔහුගෙන් ඇසූ හ. ඔහු පිළිතුරු දෙමින්, ”උන් වහන්සේ මාගේ ඇස්වල මඬ ගැල්වූ සේක: මම සෝදාගතිමි; එවිට පෙනීම ලදිමි”යි කී ය.
16එබැවින් පරිසිවරුන්ගෙන් සමහරෙක්, ”ඒ මිනිසා සබත් විනය කඩ කරන බැවින් ඔහු දෙවියන් වහන්සේ වෙතින් පැමිණියෙක් නොවේ ය”යි කී හ. එහෙත් අන් සමහරෙක්, ”පව්කාර මිනිසෙකුට මෙබඳු හාස්කම් කළ හැක්කේ කෙසේ දැ”යි ඇසූ හ. මෙසේ ඔවුන් අතර භේදයක් ඇති විය.
17එබැවින් ඔව්හු නැවතත් අන්ධයාට කතා කොට, ”නුඹේ ඇස් පෑදුවේ ඒ මිනිසා නම්, ඔහු ගැන නුඹේ අදහස කුමක් දැ”යි ඇසූ හ. ”ඔහු නම් දිවැසිචරයෙකැ”යි හෙතෙම පිළිතුරු දුන්නේ ය.
18ඔහු අන්ධ ව සිටි බවත්, පසුව පෙනීම ලැබූ බවත්, පෙනීම ලැබූ මිනිසාගේ දෙමවුපියන් කැඳවා විමසන තුරු විශ්වාස කිරීමට ජුදෙව්වරු මැළි වූ හ.
19මේ මිනිසා ඔබේ පුතා ද? ඇත්තට ම ඔහු අන්ධ ව උපන්නේ ද? එසේ නම් දැන් ඔහුට පෙනෙන්නේ කෙසේ දැ”යි ඔව්හු දෙමවුපියන්ගෙන් ප්‍රශ්න කළහ.
20ඔහුගේ මවුපියෝ පිළිතුරු දෙමින්, ”මේ අපගේ පුත්‍රයා බව අපි දනිමු, ඔහු අන්ධ ව උපන් බවත් අපි දනිමු.
21එහෙත් දැන් ඔහුට පෙනෙන්නේ කොහොම දැ යි අපි නොදනිමු. ඔහුගේ ඇස් පෑදුවේ කවරෙක් ද කියාත් අපි නොදනිමු. ඔහුගෙන් ම අසන්න; දැන් ඔහු තේරෙන වයසැති කෙනෙකි. තමා ගැන ම කතා කරන්නට ඔහුට පුළුවනැ”යි කී හ.
22ඔහුගේ දෙමවුපියන් මෙසේ කීවේ ජුදෙව්වරුන්ට බියෙනි. මන්ද, ‘යමෙක් උන් වහන්සේ ක්‍රිස්තුවරයාණෝ යයි ඒත්තුගන්නේ නම් ඔහු ධර්මශාලාවෙන් නෙරපාදැමිය යුතු ය’යි ජුදෙව්වරුන් නියම කරගෙන සිටි හෙයිනි.
23ඒ නිසා ඔහුගේ මවුපියෝ, ”ඔහු තේරෙන වයසැති කෙනෙකි; ඔහුගෙන් අසන්නැ”යි කී හ.
24ඔව්හු අන්ධ ව සිටි මිනිසා නැවතත් ගෙන්වා, ”දෙවියන් වහන්සේ ඉදිරියේ e ඇත්ත කියන්න; මේ මිනිසා නම් පව්කාරයෙකු බව අපි දනිමු”යයි කී හ.
25එවිට ඔහු පිළිතුරු දෙමින්, ”ඒ තැනැත්තා පව්කාරයෙක් ද නැද්දැ යි මම නොදනිමි; එහෙත් එක දෙයක් මම දනිමි; මම අන්ධ ව සිටියෙමි, දැන් මට පෙනේ” යයි කී ය.
26එවිට ඔව්හු, ”ඔහු ඔබට කුමක් කෙළේ ද? ඔබේ ඇස් පැහැදුවේ කොහොම දැ”යි ඔහුගෙන් ඇසූ හ.
27ඔහු පිළිතුරු දෙමින්, ”මම කලින් ඔබට කීවෙමි, එහෙත් ඔබ මගේ කීම ඇසුවේ නැත. ඔබ එය නැවතත් අසන්නට තැත් කරන්නේ මන් ද? ඔබත් උන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙන්නට අදහස් කරන නිසා වත් දැ”යි ඇසී ය.
28ඔව්හු ඔහුට බැණවදිමින්, ”ඔබ යි ඔහුගේ ශ්‍රාවකයා; අපි නම් මෝසෙස්ගේ ශ්‍රාවකයෝ වම්හ.
29දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කළ බව අපි දනිමු. එහෙත් මේ මිනිසා ගැන නම්, මොහු කොහෙන් වී දැ යි අපි නොදනිමු”යි කී හ.
30ඒ මිනිසා පිළිතුරු දෙමින්, ”මෙය මහ පුදුමයක්! ඔහු කොතැනින් ආවේ දැ යි ඔබ නොදන්නහු ය; එහෙත් මාගේ ඇස් පෑදුවේ ඔහු ය.
31දෙවියන් වහන්සේ පව්කාරයන්ගේ බස් නොඅසන බවත්, දේව භක්තිය ඇති, දේව කැමැත්ත කරන, යමෙකු ඇත්නම් ඔහුගේ බස් අසන බවත් අපි දනිමු.
32යම් කිසිවෙකු අන්ධ ව උපන් කෙනෙකුගේ ඇස් පෑදූ බව ලෝකයේ පටන්ගැන්මේ සිට කවදාවත් ඇසූ දෙයක් නොවේ.
33මේ තැනැත්තා දෙවියන් වහන්සේ වෙතින් නොපැමිණියෙක් නම් කිසිවක් කරන්නට ඔහුට නොහැකි ය”යි කී ය.
34ඔව්හු පිළිතුරු දෙමින්, ”උපන් දා සිට ම පාපයේ සිටින ඔබ අපට උගන්වන්නට එන්නෙහි දැ”යි කියා ඔහු ධර්මශාලාවෙන් නෙරපාදැමූ හ.
35ඔවුන් ඒ මිනිසා නෙරපාදැමූ බව ජේසුස් වහන්සේට ආරංචි වී, ඔහු හමු වූ පසු, ”ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන් අදහන්නෙහි දැ”යි ඇසූ සේක.
36ස්වාමීනි, ඒ කවරෙක් ද? එතුමා අදහාගන්න පිණිස මට කියන්නැ”යි ඔහු යැදී ය.
37ඔබ එතුමා දැක ඇත; දැන් ඔබ සමඟ කතා කරන තැනැත්තේ එතුමා ය”යි පිළිතුරු දුන් සේක.
38ඔහු ද, ”ස්වාමීනි, මම අදහමි”යි කියා පසඟ පිහිටුවා උන් වහන්සේට වැන්දේ ය.
39ජේසුස් වහන්සේ කතා කොට: ”මා මෙලොවට වැඩියේ විනිශ්චය සඳහා ය. එයින්, පෙනීම නැත්තන්ට පෙනීම ඇති වනු ඇත, පෙනීම ඇත්තන්ට පෙනීම නැති වනු ඇතැ”යි වදාළ සේක.
40උන් වහන්සේ සමඟ සිටි පරිසිවරුන්ගෙන් ඇතැමෙක් එය අසා, ”අපිත් අන්ධයෝ දැ?”යි උන් වහන්සේගෙන් ඇසූ හ.
41උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඔබ අන්ධ ව සිටියා නම් ඔබට පාපයක් නැත. එහෙත් දැන් ‘අපට පෙනේ ය’යි ඔබ කියන නිසා ඔබේ පාපය එසේ ම පවතී ය”යි ඔවුන්ට වදාළ සේක.