ජනවාරි 2028

බ්‍ර සි සෙ
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
අද දිනට

කියවීම්

2028 ජනවාරි 2

Epiphany of the Lord Solemnity

දවසේ දේව මෙහෙය
First Reading

යෙසායා 60: 1-6

1ජෙරුසලම, නැඟිටින්න, බැබළෙන්න. ඔබේ ආලෝකය දැන් උදා වී ඇත. සමිඳුන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි බැබළේ. 2පොළොව අඳුරෙන් ද ජාතීන් ගන’ඳුරෙන් ද වසනු ලබන නමුත්, සමිඳාණෝ ඔබ මත බබළන සේක. එතුමන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි දිස් වන්නේ ය. 3ජාතීන් ඔබේ ආලෝකය වෙතටත්, රජවරුන් උදා වන ඔබේ දීප්තිය දෙසටත් පැමිණෙනු ඇත. 4ඔබේ ඇස් ඔසවා අවට බලන්න; ඔව්හු සියල්ලෝ රැස් ව ඔබ වෙත එති. ඔබේ පුත්‍රයන් දුර සිට පැමිණෙනු ඇත. ඔබේ දූවරු උකුලේ හොවාගෙන ගෙනෙනු ලබති. 5මෙය දැක ඔබ ප්‍රීති වන්නහු ය. ඔබේ සිත ප්‍රීති ප්‍රමෝදයෙන් පිනා යන්නේ ය. මන්ද, මුහුදු මඟින් ගෙනෙන යසඉසුරු ඔබ වෙත ගලා එන්නේ ය. ජාතීන්ගේ වස්තුව ඔබ වෙත පැමිණෙන්නේ ය. 6ඔටුවන් සමූහයකින් යුත් තවලම් මිදියන් හා ඒපා දේශවලින් නුඹ වෙත රොක් වෙයි. ඔවුන් ෂෙබා දේශයෙන් රන් ද සුවඳ ද්‍රව්‍ය ද රැගෙන අවුත්, සමිඳුන්ගේ ප්‍රශංසාව ප්‍රකාශ කරනු ඇත.
Responsorial Psalm

ගීතාවලිය 72: 1-2, 7-8, 10-11, 12-13

1දෙවිඳුනි, රජතුමාට ඔබගේ විනිශ්චය කිරීමේ ඥානය දුන මැනව! රජ කුමරු හට යුක්තිගරුක ව ක්‍රියා කිරීමට ඔබගේ හැකියාව දුන මැනව! 2එවිට එතුමා ඔබේ ජනතාව සාධාරණ ලෙස පාලනය කරන්නේ ය. ඔබේ පීඩිත ජනතාවට යුක්තිය ඉටු කරන්නේ ය. 7එතුමන් සමයෙහි දමිටු බව දියුණු වේ වා! ඉර හඳ පවතින තෙක් සාමය පැතිරේ වා! 8මුහුදින් මුහුදට එතුමාගේ රජ දහන පැතිරේ වා! යුප්‍රටීස් නදියේ සිට පොළොවේ කෙළවර දක්වා එසේ ම වේ වා! 10තාර්ෂිෂ්හි සහ ද්වීපවල රජවරු එතුමාට කප්පම් ගෙවන්නෝ ය; ෂෙබා සහ සේබාහි රජවරු පඬුරු පුදන්නෝ ය; 11එතුමන් අබිමුව රජවරු වැඳ වැටෙන්නෝ ය; සියලු ජාතීහු එතුමාට මෙහෙ කරන්නෝ ය. 12එතුමා සහන පතා මොරගසන අසරණයන් මුදාගත්තේ ය; පිහිට නැති පීඩිතයන් ද නිදහස් කරගත්තේ ය. 13එතුමා, දුගී දුප්පතුන්ට හා දුබලුන්ට අනුකම්පා කරන්නේ ය; දිළිඳුන්ගේ ජීවිත මුදාගත්තේ ය.
Second Reading

එපීස 3: 2-3a, 5-6

2ඔබේ යහපත පිණිස සේවය කිරීමේ වරප්‍රසාදය දෙවියන් වහන්සේ මට බාර දී ඇති බව ඔබ ඇත්තෙන්ම අසා ඇත. 3මා ලුහුඬින් ලියා තිබෙන ලෙස, මේ රහස එළිදරව් වීමකින් මට ප්‍රකාශ කරන ලදී. 5ආදි පරම්පරාවල මනුෂ්‍ය වර්ගයාට ඒ අබිරහස ප්‍රකාශ නොකරන ලදී. එහෙත් දැන් ආත්මයාණන් කරණකොටගෙන ශුද්ධ ප්‍රේරිතයනටත්, දිවැසිවරයනටත් එය එළිදරව් කර ඇත. 6ඒ අබිරහස නම්, සුබ අස්න කරණකොටගෙන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ විජාතීන් ජුදෙව්වරුන් සමඟ හවුල් උරුමක්කාරයන් ද සභා ශරීරයේ හවුල් සාමාජිකයන් ද පොරොන්දුවේ හවුල් පංගුකාරයන් ද වන බව ය.
Alleluia

ශුද්ධ වූ මතෙව් 2: 2

2ජුදෙව්වරුන්ට රජ ව උපන් උතුමාණෝ කොතැන්හි ද? අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිග දී දැක, එතුමාණන්ට නමස්කාර කරන පිණිස ආවෙමු”යි කී හ.
Gospel

ශුද්ධ වූ මතෙව් 2: 1-12

1හෙරොද් රජු දවස ජුදයේ බෙත්ලෙහෙමෙහි ජේසුස් වහන්සේ උපන් කල, පෙරදිගින් ශාස්ත්‍රවන්තයෝ ජෙරුසලමට අවුත්, 2ජුදෙව්වරුන්ට රජ ව උපන් උතුමාණෝ කොතැන්හි ද? අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිග දී දැක, එතුමාණන්ට නමස්කාර කරන පිණිස ආවෙමු”යි කී හ. 3එපවත් ඇසූ හෙරොද් රජ ද මුළු ජෙරුසලම් ජනතාව ද කැළඹුණාහ. 4එකල ඔහු සෙනඟගේ සියලු නායක පූජකයන් ද විනයධරයන් ද රැස් කරවා, ”ක්‍රිස්තුන් වහන්සේ කොතැන්හි උපදින සේක් දැ”යි ඔවුන්ගෙන් විචාළේ ය. 5ඔව්හු කතා කොට, ”ජුදයේ බෙත්ලෙහෙමෙහි ය; ඒ ගැන දිවැසිවරයා මෙසේ ලියා තිබේ; 6‘එම්බා, ජුදා දේශයේ බෙත්ලෙහෙම! තී ජුදාගේ භූපතීන් අතර කිසි සේත් අල්ප නොවන්නී ය. මන්ද; මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරන මූලිකයෙකු තී කෙරෙන් නික්මෙනු ඇතැ’ ”යි ඔහුට කී හ. 7එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් රහසින් කැඳවා, තාරකාව පෙනුණු වේලාව ඔවුන්ගෙන් හොඳින් දැනගෙන, 8ඔබ ගොස් ඒ ළදරුවා ගැන හරි ලෙස විමසන්න; ඔබ විමසා සොයාගත් පසු, මාත් ගොස් උන් වහන්සේට නමස්කාර කරනු පිණිස මටත් දන්වන්න” කියා, ඔවුන් බෙත්ලෙහෙමට යැවී ය. 9රජුගේ බස් අසා ඔව්හු පිටත් ව ගියහ. පෙරදිග දී ඔවුන් දුටු තාරකාව, ළදරුවා සිටි තැනට අවුත් ඉහළින් නවතින තුරු, ඔවුන්ට පෙරටුවෙන් ගියේ ය. 10තාරකාව දැක ඔව්හු අතිශයින් ප්‍රීති ප්‍රමො‍්ද වූ හ. 11ඔව්හු ගෙට පිවිස, ළදරුවා සිය මව වූ මරිය තුමී හා සමඟ සිටිනු දැක, පසඟ පිහිටුවා වැඳ, සිය කරඬු ඇර රන් ද, තුවරලා ද, ගන්ධරස ද යන පඬුරු උන් වහන්සේට පිදූ හ. 12තවද, හෙරොද් වෙත ආපසු නොයන ලෙස සිහිනයකින් දන්වනු ලැබූ ඔව්හු අන් මඟකින් සිය රට බලා ගියහ.