කියවීම්
2028 ජනවාරි 9
Baptism of the Lord Feast
දවසේ දේව මෙහෙය
First Reading
යෙසායා 42: 1-4, 6-7 or යෙසායා 40: 1-5, 9-11
1මා සහාය දෙන මාගේ සේවකයා මෙන්න. මට ප්‍රිය වූ මාගේ තෝරාගත් තැනැත්තා මෙන්න. මාගේ ආත්මානුභාවය මා එතුමාට ප්‍රදානය කර ඇත. සියලු ජාතීන්ට එතුමා යුක්තිය ගෙන දෙනු ඇත.
2එතුමා උස් හඬින් කතා කරන්නේ වත්, මොරගසන්නේ වත් නැත; වීථිවල ඇසෙන පරිදි හඬ නඟන්නේ නැත;
3තැළුණු බට දණ්ඩක් කඩාදමන්නේ නැත; නිවී ගෙන යන පහන් තිරයක් නිවාදමන්නේ නැත.
4සැබැවින් ම යුක්තිය ඉටු කරන්නේ ය; එතුමා කලකිරෙන්නේ වත්, අධෛර්ය වන්නේ වත් නැත; මිහි පිට යුක්තිය පිහිටුවන තුරු එතුමාගේ දහම් මඟ උදාවන තුරු දිවයින් බලා සිටිනු ඇත.”
6යුක්තිය පිහිටුවන පිණිස සමිඳාණන් වන මම නුඹ කැඳවාගතිමි. මම නුඹ අතින් ගෙන නුඹ හැඩගැසීමි. සෙනඟ හා මා අතර ගිවිසුමක් වන පිණිසත්, සියලු ජාතීන් අතර ආලෝකයක් වන පිණිසත් මම නුඹ පත් කෙළෙමි.
7මා එසේ කෙළේ, නුඹ අන්ධයන්ගේ ඇස් පහදන පිණිසත්, සිරගෙයි සිරකරුවන් ද දඟගෙයි අඳුරෙහි වසන්නන් ද මුදන පිණිසත් ය.
Responsorial Psalm
ගීතාවලිය 104: 1b-2, 3-4, 24-25, 27-28, 29-30
1මාගේ සිත, සමිඳුන් පසසන්න. මාගේ දෙවි සමිඳුනි, ඔබ ඉතා උතුම් ය, ඔබ තෙද මහිමයෙන් සැරසී සිටින සේක.
2ඔබ ආලෝකය නමැති වස්ත්‍රය හැඳ පැළඳ සිටින සේක; වියනක් මෙන් අහස විහිදාලන සේක.
3ඔබේ මාලිගාව ඉහළ දිය කඳ මත පිහිටුවන සේක; වලාකුළු ඔබේ රිය කරගන්න සේක.
4සුළඟ ඔබේ දූතයන් ද ගිනි දලු ඔබේ සේවකයන් ද කරගන්න සේක.
24සමිඳුනි, ඔබේ කර්මාන්ත කොපමණ විවිධාකාර ද? ඔබ සියල්ල ප්‍රඥාවෙන් මැවූ සේක. පොළොව ඔබ මැවූ සතුන්ගෙන් පිරී ඇත;
25අර තිබෙන්නේ සුවිසල් සාගරය! එහි ලොකු කුඩා සත්ත්වයෝ ගණන ඉක්මවා සැරිසරති.
27උන්ගේ කෑම නියම කලට ලබන පිණිස උන් සියලු දෙන ඔබ දෙස බලා සිටිති.
28ඔබ උන්ට දෙන දේ උන් එකතු කර ගනිති. ඔබේ අත විදහන විට උන් කුසගින්න නිවාගනිති.
29ඔබේ මුහුණ ඔබ සඟවන කල උන් කැළඹෙති. ඔබ උන්ගේ හුස්ම පැහැරගන්න කල උන් නැසී, දූවිලි බවට හැරී යති.
30එහෙත්, ඔබ උන්ට හුස්ම දෙන කල උන් යළිත් මවනු ලබති. ඔබ පොළෝ තලයට නව දිවියක් දෙන සේක.
Second Reading
තීතස් 2: 11-14; 3: 4-7
11සියලු මනුෂ්‍යයන්ට ගැළවීම ගෙන දෙන දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ප්‍රකාශ වී ඇත.
12අභක්තිය ද ලෞකික තෘෂ්ණා ද හැරදමා, ආශීර්වාද ලත් බලාපොරොත්තුව ගැනත්,
13අපගේ මහෝත්තම දෙවියන් වහන්සේ හා ගැළවුම්කාර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ තේජාන්විත ආගමනය ගැනත් බලා සිටිමින්, සිහිනුවණින් යුතු ව දැහැමි ලෙසත් භක්තිවන්ත ලෙසත් මෙලොව ජීවත් වන පිණිස ඒ දේව වරප්‍රසාදය අපට අනුශාසනා කරන්නේ ය.
14සියලු අධර්මිෂ්ඨකම්වලින් අප පවිත්‍ර කරන පිණිසත්, අප උන් වහන්සේගේ තෝරාගත් සෙනඟක් කරන පිණිසත් යහපත කිරීමට අප උද්‍යෝගිමත් කරවන පිණිසත්, අප නිදහස් කරන පිණිසත්, උන් වහන්සේ අප උදෙසා දිවි පිදූ සේක.
4එහෙත් අපගේ ගැළවුම්කාර දෙවියන් වහන්සේගේ ගුණවත්කම හා ප්‍රේමය මනුෂ්‍යයන් කෙරෙහි ප්‍රකාශ වූ කල,
5අප විසින් ම කළ දැහැමි ක්‍රියාවලින් නොව, හුදෙක් ස්වකීය දයාව ලෙස, පුනරුත්පාදනය නමැති ධෝවනයෙන් ද ශුද්ධාත්මයාණන් වහන්සේගේ අලුත් කිරීමෙන් ද උන් වහන්සේ අප ගැළෙව් සේක.
6උන් වහන්සේගේ වරප්‍රසාදයෙන් අප දමිටු කරනු ලැබ, සදාතන ජීවනයේ බලාපොරොත්තුවට උරුමක්කාරයන් වන පිණිස,
7උන් වහන්සේ අප ගැළවුම්කාර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන ශුද්ධාත්මයාණන් අධික ලෙස අප පිට වැගිරෙව් සේක.
Alleluia
ශුද්ධ වූ ලූක් 3: 16
16ජොහන් සියල්ලන්ට පිළිතුරු දෙමින්, ”මම නම්, ඔබ වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි; එහෙත් මට වඩා ආනුභාව සම්පන්න උතුමෙක් එන්නේ ය; එතුමන්ගේ පාවහන් පටි මුදන්ට වත් මම නොවටිමි; එතුමාණෝ ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද ඔබ බව්තීස්ම-ස්නාපනය කරවන සේක.
Gospel
ශුද්ධ වූ ලූක් 3: 15-16, 21-22
15මේ ක්‍රිස්තුවරයා විය හැකි දැ”යි සෙනඟ අපේක්ෂාවෙන් බලා සිටිය දීත්, හැම දෙන ජොහන් ගැන විවාද කරමින් සිටිය දීත්,
16ජොහන් සියල්ලන්ට පිළිතුරු දෙමින්, ”මම නම්, ඔබ වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි; එහෙත් මට වඩා ආනුභාව සම්පන්න උතුමෙක් එන්නේ ය; එතුමන්ගේ පාවහන් පටි මුදන්ට වත් මම නොවටිමි; එතුමාණෝ ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද ඔබ බව්තීස්ම-ස්නාපනය කරවන සේක.
21තවද මුළු සෙනඟ බව්තීස්ම-ස්නාපනය ලැබූ විට, ජේසුස් වහන්සේත් බව්තීස්ම-ස්නාපනය ලබා යාච්ඤා කරමින් සිටිය දී ස්වර්ගය විවර වී,
22ශුද්ධාත්මයාණෝ පරෙවියෙකුගේ රූපාකාරයෙන් උන් වහන්සේ කෙරෙහි පහළ වූ සේක. එවිට: ”ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; ඔබ කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි”යි අහසින් හඬක් නික්මිණි.