මැයි 2028

බ්‍ර සි සෙ
123456
78910111213
14151617181920
21222324252627
28293031
අද දිනට

කියවීම්

2028 මැයි 6

Easter Weekday

දවසේ දේව මෙහෙය
First Reading

ක්‍රියා 9: 31-42

31මෙසේ මුළු ජුදයෙහි ද ගලීලයෙහි ද සමාරියෙහි ද සභාවට සාමයේ කාලයක් ඇති විය. සභාව ශක්තිසම්පන්න ව, දේව ගෞරවයෙහි ද ශුද්ධාත්ම වරප්‍රසාදයෙහි ද පවතිමින් වැඩි වර්ධනය වූවා ය. 32තවද පේදුරු සියලු පළාත්වල සැරිසරා, ලිද්දායෙහි විසූ සැදැහැවතුන් වෙතට පැමිණියේ ය. 33එහි අට අවුරුද්දක් අංශභාග රෝගයෙන් ඔත්පළ ව හුන් අයිනෙයස් නම් මනුෂ්‍යයෙක් ඔහුට හමු විය. 34පේදුරු ඔහුට කතා කොට, ”අයිනෙයස්, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඔබට සුවය දෙන සේක. නැඟිට ඔබේ යහන සකස් කරගන්නැ”යි කී ය. එකෙණෙහි ම ඔහු නැඟිට්ටේ ය. 35ලිද්දායෙහි ද ශාරොනෙහි ද විසූ සියල්ලෝ ඔහු දැක, සමිඳාණන් වහන්සේ සරණ ගියහ. 36දොර්කස්, හෙවත් මුවදෙන යන අර්ථය ඇති, තබිතා නම් එක්තරා සැදැහැවත් කාන්තාවක් ජොප්පාවෙහි සිටියා ය. ඈ යහපත කිරීමේ දී හෝ දන්දීමෙහි දී හෝ කිසි විටෙක වෙහෙසට පත් නොවූවා ය. 37එහෙත් ඒ දවස්වල ඈ රෝගී ව මළා ය. ඔව්හු මිනිය නාවා, උඩුමහලක තැබූ හ. 38ලිද්දාව ජොප්පාවට සමීප බැවින්, පේදුරු එහි සිටින බව ඇසූ ශ්‍රාවකයෝ ”පමා නොවී අප වෙත එන්නැ”යි අයැදිමින් මිනිසුන් දෙදෙනෙකු ඔහු වෙත යැවූ හ. 39එවිට පේදුරු පිටත් ව ඔවුන් සමඟ ගියේ ය. ඔහු පැමිණි කල, ඔව්හු උඩුමහලට ඔහු කැඳවාගෙන ගියහ. සියලු වැන්දඹුවෝ ඔහු වටා සිට හඬ හඬා, දොර්කස් ජීවත් ව සිටිය දී මැහූ කමිසත් කබාත් පෙන්වූ හ. 40පේදුරු ඔවුන් සියල්ලන් බැහැර කර, දණින් වැටී යාච්ඤා කර, මෘත දේහය දෙසට හැරී, ”තබිතා, නැඟිටින්නැ”යි කී ය. එවිට ඈ ඇස් ඇර, පේදුරු දැක, හිඳගත්තා ය. 41ඔහු ඈ අතින් අල්ලා නැඟිටුවා, සැදැහැවතුන් ද වැන්දඹුවන් ද කැඳවා, පණපිටින් සිටි ඇය ඔවුන්ට භාර දුන්නේ ය. 42ජොප්පාව පුරා මේ පුවත පතළ විය. බොහෝ දෙනෙක් සමිඳාණන් වහන්සේ අදහා ගත්හ.
Responsorial Psalm

ගීතාවලිය 116: 12-13, 14-15, 16-17

12සමිඳුන් මා හට කළ සියලු යහපත්කම් ගැන එතුමන්ට මම කුමක් පුදම් ද? 13මම ගැළවීමේ කුසලාන ගන්නෙමි; සමිඳුන්ගේ නාමයෙන් යාච්ඤා කරන්නෙමි. 14එසේ ය, සමිඳුන්ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ බාරහාර මම ඉටු කරන්නෙමි. 15සැදැහැවතුන්ගේ මරණය සමිඳුන් අබියස අගනේ ය. 16සමිඳුනි, මම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; සැබැවින් ම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; ඔබේ දාසිගේ පුත්‍රයා වෙමි. ඔබ මාගේ බැඳුම් මිදූ සේක. 17මම ඔබට ස්තුති පූජාව පුදන්නෙමි; සමිඳුන්ගේ නාමය අමතා අයැදින්නෙමි.
Alleluia

ශුද්ධ වූ ජොහන් 6: 63c, 68c

63ජීවනය දෙන්නේ ආත්මය වේ. මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා ඔබට වදාළ වචන ආත්මය ද ජීවනය ද වෙයි. 68සීමොන් පේදුරු පිළිතුරු දෙමින්, ”ස්වාමීනි, අප කවරෙකු වෙතට යන්න ද? සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙත ය.
Gospel

ශුද්ධ වූ ජොහන් 6: 60-69

60එය ඇසූ විට, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ බොහෝ දෙනෙක් ”මෙය දරාගන්නට බැරි කීමකි, එතුමාණන්ට සවන් දී සිටිය හැක්කේ කාට දැ”යි තමන් අතරේ කතා කරගත්හ. 61ශ්‍රාවකයන් මෙසේ මැසිවිලි කියන බව ජේසුස් වහන්සේ දිවැසින් දැන ඔවුන් අමතා, ”මෙය ඔබට අධෛර්යයට පත්වීමට හේතුවක් ද? 62එසේ නම්, මනුෂ්‍ය-පුත්‍රයාණන් පෙර සිටි තැනට නඟිනු බව ඔබ දුටුවොත් කෙසේ ද? 63ජීවනය දෙන්නේ ආත්මය වේ. මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා ඔබට වදාළ වචන ආත්මය ද ජීවනය ද වෙයි. 64එහෙත් නොඅදහන සමහරෙක් ඔබ අතරෙහි සිටිති”යි වදාළ සේක. එසේ වදාළේ, නොඅදහන්නො‍් කවුරු ද කියාත්, තමන් වහන්සේ පාවා දෙන්නට යන්නේ කවරෙක් ද කියාත්, ජේසුස් වහන්සේ මුල සිට ම දැනගෙන සිටි බැවිනි. 65එහෙයින් උන් වහන්සේ ඔවුන් අමතා, ”මාගේ පියාණන් වහන්සේගෙන් වරය ලැබූ කෙනෙකුට මිස, අන් කිසිවෙකුට මා වෙතට පැමිණිය නො හැකි බව මා කීවේ ඒ නිසා ය”යි වදාළ සේක. 66මේ නිසා එවක් පටන් උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබට වී, තවත් උන් වහන්සේ අනුව නොගියහ. 67ජේසුස් වහන්සේ දොළොස් දෙනා අමතා, ”ඔබත් ඉවත් ව යන්නට සිතන්නහු දැ”යි ඇසූ සේක. 68සීමොන් පේදුරු පිළිතුරු දෙමින්, ”ස්වාමීනි, අප කවරෙකු වෙතට යන්න ද? සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙත ය. 69ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයාණන් වහන්සේ බව අපි අදහමු. එසේ ම ඒ බව දනිමු”යි කී ය.