මැයි 2028

බ්‍ර සි සෙ
123456
78910111213
14151617181920
21222324252627
28293031
අද දිනට

කියවීම්

2028 මැයි 14

Fifth Sunday of Easter

දවසේ දේව මෙහෙය
First Reading

ක්‍රියා 14: 21-27

21ඔව්හු ඒ නුවර සුබ අස්න දේශනා කොට, බොහෝ දෙනෙකු ශ්‍රාවකයන් කර, ලුස්ත්‍රාවට ද ඉකෝනියට ද අන්තියෝකියට ද හැරී අවුත්, 22අප බොහෝ දුක් විඳිමින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවන්නට ඕනෑ ය”යි කියා ශ්‍රාවකයන් ධෛර්යවත් කර, ඇදහිල්ලේ ස්ථීර ව පවතින්නට ඔවුනට අවවාද කළහ. 23ඔව්හු එක එක සභාවේ සැදැහැවතුන් කෙරෙහි සභා මූලිකයන් පත් කොට, උපවාසයේ යෙදී යාච්ඤා කර, තමන් අදහා ගත් සමිඳාණන් වහන්සේට ඔවුන් භාර දී, 24පිසිදිය මැදින් ගොස්, පම්පිලියට පැමිණියහ. 25ඔව්හු පර්ගායේ දී වචනය දේශනා කොට, අත්තාලියට ගොස් 26එතැනින් නැව් නැඟී අන්තියෝකියට පැමිණියහ. ඔවුන් ඉෂ්ට කළ සේවය නිසා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයට ඔවුන් කල්මත්තෙන් භාර දෙන ලද්දේ මේ අන්තියෝකියේ දී ය. 27එහි පැමිණි කල, ඔව්හු සභාව රැස් කරවා දෙවියන් වහන්සේ තමන් ලවා ඉටු කළ සියල්ල ද විජාතීන්ට උන් වහන්සේ විශ්වාසය කරා දොරක් ඇර දුන් බව ද දැන්වූ හ.
Responsorial Psalm

ගීතාවලිය 145: 8-9, 10-11, 12-13

8සමිඳාණෝ දයාවන්ත ය. අනුකම්පාවෙන් පූර්ණ ය; වහා නොකිපෙන සුලු ය; තිරසර පෙමින් යුතු ය. 9සමිඳාණෝ සියල්ලන්ට කරුණාව පාන සේක; එතුමන්ගේ සුමුදු දයාව මවන ලද සියල්ල ද වෙත පැතිරෙයි. 10සමිඳුනි, ඔබ මැවූ සියලු දේ ඔබට තුති පුදයි; ඔබේ සැදැහැවත්තු ද ඔබට ප්‍රශංසා කරති. 11ඔව්හු ඔබේ රාජ්‍යයේ මහිමය වර්ණනා කරති. ඔබේ බල මහිමය ගැන ද කතා කරති. 12එසේ කරන්නේ, දෙවිඳුන්ගේ ප්‍රබල ක්‍රියාත්, රාජ්‍යයේ තේජෝ මහිමයත් මිනිසුන් හට දන්වන පිණිස ය. 13ඔබේ රාජ්‍යය සදාකාලික ය, ඔබේ ආධිපත්‍යය ද සියලු පරම්පරාවල ම පවත්නේ ය සමිඳාණෝ සියලු පොරොන්දු ඉටු කරන සේක. තමන් කරන සියල්ලේ දී මෙත් සිත් වඩන සේක.
Second Reading

එළිදරව් 21: 1-5a

1ඉන්පසු මම අලුත් අහසක් ද අලුත් පොළොවක් ද දිටිමි. පළමු අහසත් පළමු පොළොවත් පහ ව ගියේ ය. මුහුද ද තවත් නො වී ය. 2තවද, තමාගේ ස්වාමි පුරුෂයාට සරසන ලද මනාලියක මෙන් සූදානම් කරනු ලැබූ ශුද්ධ නගරය වන අලුත් ජෙරුසලම, දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු දිටිමි. 3සිංහාසනයෙන් මහා හඬක් මෙසේ කියනු ඇසීමි: ”මෙන්න, දෙවියන් වහන්සේගේ වාසභවනය මනුෂ්‍යයන් සමඟ ය. උන් වහන්සේ ඔවුන් සමඟ වාසය කරන සේක. ඔව්හු උන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය. දෙවියන් වහන්සේ ම ඔවුන් සමඟ වැඩවසමින්, ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන සේක. 4උන් වහන්සේ ඔවුන්ගේ දෙනෙතින් සියලු කඳුළු පිසදමන සේක. මරණය තවත් නැත. වැලපීම ද හැඬීම ද, වේදනාව ද තවත් නැත. ඒ පළමු පිළිවෙළ පහ ව ගිය බැවිනි.” 5එවිට සිංහාසනයෙහි වැඩහුන් තැනැන් වහන්සේ කතා කොට, ”බලව, මම සියල්ල අලුත් කරමි!”යි වදාළ සේක. උන් වහන්සේ තවදුරටත් කතා කොට, ”ලියන්න, මන්ද, මේ වචන විශ්වාස කටයුතු ය, සැබෑ ම ය”යි වදාළ සේක.
Alleluia

ශුද්ධ වූ ජොහන් 13: 34

34මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.
Gospel

ශුද්ධ වූ ජොහන් 13: 31-33a, 34-35

31ජූදස් පිටතට ගිය කල, ජේසුස් වහන්සේ කතා කොට, ”දැන් මනුෂ්‍ය-පුත්‍රයාණන් මහිමයට පැමිණ ඇත. 32එතුමාණන් තුළින් දෙවියන් වහන්සේ ද මහිමයට පැමිණි සේක් නම්, දෙවියන් වහන්සේ තමන් තුළින් ඔහු ද මහිමයට පමුණුවන සේක. එය වහා ම කරන සේක. 33දරුවෙනි, මා ඔබ සමඟ සිටින්නේ තව ටික වේලාවක් පමණකි. ඔබ මා සොයනු ඇත. එහෙත් මා ජුදෙව්වරුන්ට කීවාක් මෙන් දැන් ඔබටත් කියමි: මා යන තැනට ඔබට පැමිණිය නොහැකි ය; 34මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. 35ඔබ එකිනෙකාට ප්‍රේම කරන්නහු නම්, එයින් ඔබ මාගේ ශ්‍රාවකයන් බව සියල්ලෝ දැනගනිති”යි වදාළ සේක.