කියවීම්
2028 මැයි 11
Easter Weekday
දවසේ දේව මෙහෙය
First Reading
ක්‍රියා 13: 13-25
13පාවුලු සහ පිරිස පාපස්හි සිට නැව් නැඟී ගොස්, පම්පිලියේ පර්ගායට පැමිණියෝ ය. එවිට ජොහන් ඔවුන්ගෙන් වෙන් ව ජෙරුසලමට පෙරළා ගියේ ය.
14ඔව්හු පර්ගායෙන් පිටත් ව ගමන් කොට, පිසිදියේ අන්තියෝකියට අවුත්, සබත් දවසේ දී ධර්මශාලාවට ඇතුළු වී අසුන් ගත්තෝ ය.
15ව්‍යවස්ථාවලියෙන් ද දිවැසාවලියෙන් ද ධර්ම පාඨ කියවූ පසු ධර්මශාලා නායකයෝ, ”සහෝදරයෙනි, මේ සෙනඟට ඔබගෙන් යම් කිසි ධර්මානුශාසනාවක් ඇත්නම් පවසන්නැ”යි ඔවුනට දැන්වූ හ.
16එවිට පාවුලු නැඟිට අතින් සංඥා කොට, ”ඉශ්රායෙල් ජනයෙනි, දේවභය ඇත්තෙනි, සවන් දෙන්න.
17මේ ඉශ්රායෙල් ජනතාවගේ දෙවියන් වහන්සේ අපේ පියවරුන් තෝරාගෙන, මිසර දේශයේ විදේශී ව සිටිය දී ඔවුන් උසස් කොට, බලසම්පන්න බාහු බලයෙන් ඔවුන් එයින් පිටතට ගෙනා සේක.
18උන් වහන්සේ හතළිස් අවුරුද්දක් පමණ කාලයක් පාළුකරයෙහි ඔවුන්ගේ හැසිරීම ගැන ඉවසිල්ලෙන් සිටි සේක.
19උන් වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශ කොට, අවුරුදු හාරසිය පණහක පමණ කාලයක් ඒ ජාතීන්ගේ දේශය ඔවුන්ට උරුම කොට දුන් සේක.
20එයින් පසු දිවැසිවර සාමුවෙල් දක්වා උන් වහන්සේ ඔවුන්ට වීරවරයන් දුන් සේක.
21ඉන්පසු ඔව්හු රජෙකු ඉල්ලා සිටියහ. දෙවියන් වහන්සේ බෙන්ජමින්ගේ ගෝත්‍රයේ මනුෂ්‍යයෙකු වූ කිෂ්ගේ පුත්‍ර වූ සාවුල්, හතළිස් අවුරුද්දකට ඔවුන්ට දුන් සේක.
22උන් වහන්සේ ඔහු අස් කර, දාවිත් ඔවුන්ගේ රජු හැටියට පත් කළ සේක. උන් වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින්, ‘ජෙස්සේගේ පුත්‍ර වූ, මට ප්‍රියමනාප මිනිසෙකු වූ, මාගේ මුළු කැමැත්ත ඉටු කරන්නෙකු වූ දාවිත් මම සොයාගතිමි’යි වදාළ සේක.
23දෙවියන් වහන්සේ පොරොන්දු දුන් ලෙස, ඔහුගේ පරපුරෙන් ඉශ්රායෙල් සෙනඟට ජේසුස් නම් ගැළවුම්කාරයෙකු දෙවා වදාළ සේක.
24උන් වහන්සේගේ පැමිණීමට පෙර ජොහන් ඉශ්රායෙල්හි මුළු සෙනඟට පසුතැවී සිත් හරවා ගැනීමේ බව්තීස්ම-ස්නාපනය දේශනා කෙළේ ය.
25තවද ජොහන් සිය මෙහෙය නිම කරන විට, ‘මම කවරෙක් කියා ඔබ සිතන්නෙහි ද? මම ඔබ සිතන තැනැත්තා නොවෙමි; මට පසුව කෙනෙක් එන සේක, උන් වහන්සේගේ පාවහන් මුදන්නට වත් මම නොවටිමි’යි කී ය.
Responsorial Psalm
ගීතාවලිය 89: 2-3, 21-22, 25 and 27
2ඔබේ තිර පෙම සදහට ම පවතින බව මම ඒකාන්තයෙන් ම පිළිගනිමි; ඔබේ විශ්වාසවන්තකම අහස මෙන් තිරසර බව මම දනිමි.
3ඔබ මෙසේ වදාළ සේක: ”මා තෝරාගත් තැනැත්තා සමඟ මම ගිවිසුමක් කෙළෙමි; මාගේ සේවක දාවිත්ට මම මෙසේ දිවුළෙමි:
21මාගේ ශක්තිය නිරතුරු ඔහු සමඟ වන්නේ ය; මාගේ බලය ඔහු සවිමත් කරන්නේ ය.
22කිසි ම සතුරෙක් ඔහුට විරුද්ධ ව නැඟිට ජය ගන්නේ නැත; කිසි ම දුදනෙක් ඔහු පරාජය කරන්නේ නැත.
25මම ඔහුගේ බලය මහ මුහුදේ පිහිටුවන්නෙමි; එය ගංගාව දක්වා පතුරුවා හරින්නෙමි.
27ඔහු මාගේ කුලුඳුල් පුතණුවන් කොට ද මිහි පිට රජුන් අතර අග රජු කොට ද මම ඔහු පත් කරන්නෙමි.
Alleluia
එළිදරව් 1: 5ab
5මළවුන්ගෙන් උත්ථාන වූ කුලුඳුලාත්, මිහි පිට රජුන්ගේ අධිපතියාත් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද, ඔබට කරුණාව හා ශාන්තිය වේ වා! උන් වහන්සේ අපට ප්‍රේම කරන සේක; සිය යාගික රුධිරයෙන් අප පවින් මිදූ සේක.
Gospel
ශුද්ධ වූ ජොහන් 13: 16-20
16ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, දාසයෙක් තම ස්වාමියාට වඩා උසස් නොවේ. එමෙන් ම, යවන ලද්දෙක් ඔහු යවන්නාට වඩා උසස් නොවේ.
17ඉදින් ඔබ මේ දේවල් දන්නහු නම්, දැන ඒවා පිළිපදින්නහු නම්, ඔබ භාග්‍යවන්තයෝ ය.
18මා කතා කරන්නේ ඔබ හැම දෙනා ගැන ම නොවේ. මා තෝරාගත් අය මම හඳුනමි. එහෙත්, ‘මාගේ භෝජන වළඳන තැනැත්තා මට විරුද්ධ ව නැඟී ඇත’ යන ශුද්ධ ලියවිල්ල ඉෂ්ට විය යුතු ය.
19එය ඉටු වූ විට, මම උන් වහන්සේ ම යයි ඔබ විශ්වාස කරන පිණිස එය ඉටු වන්න පෙර දැන් පවසමි.
20ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, මා යවන කවරෙකු නමුත් පිළිගන්නා මා පිළිගනියි; මා පිළිගන්නා මා එවා වදාළ තැනැන් වහන්සේ පිළිගනියි.”