කියවීම්
2028 මැයි 17
Easter Weekday
දවසේ දේව මෙහෙය
First Reading
ක්‍රියා 15: 1-6
1ජුදයෙන් සමහර දෙනෙක් අවුත්, ”මෝසෙස්ගෙන් පැවත එන සිරිත ලෙස ඔබ චර්මඡේදනය කරනු නොලැබුවහොත් ඔබට ගැළවීම ලැබිය නොහැකි ය”යි සහෝදරයන්ට ඉගැන්වූ හ.
2එහෙයින් ඔවුන් ද පාවුලු හා බාර්ණබස් ද අතර වේගවත් වාද විවාද ඇති විය. මේ ප්‍රශ්නය ගැන ප්‍රේරිතයන් සහ සභා මූලිකයන්ගෙන් විචාරන පිණිස පාවුලු සහ බාර්ණබස් ද අන්තියෝකියෙන් තවත් සමහරෙක් ද ජෙරුසලමට යැවීමට නියම කරනු ලැබූ හ.
3මෙසේ ඔව්හු සභාව විසින් යවන ලදුව, පිනීසිය ද සමාරිය ද මැදින් ගොස්, විජාතීන්ගේ හැරීම ප්‍රකාශ කරමින්, සියලු සහෝදරයනට මහත් ප්‍රීතියක් ගෙන දුන්හ.
4ඔවුන් ජෙරුසලමට පැමිණි කල, සභාව ද ප්‍රේරිතයෝ ද සභා මූලිකයෝ ද, ඔවුන් පිළිගත්හ. ඉන්පසු ඔව්හු දෙවියන් වහන්සේ තමන් ලවා ඉටු කරැවූ සියලු දේ ඔවුන්ට දැන්වූ හ.
5එවිට පරිසිවරුන්ගේ කණ්ඩායමට අයත් ඇදහිලිවතුන් සමහරෙක් නැඟිට, ”චර්මඡේදනය කරන්නටත් මෝසෙස්ගේ ව්‍යවස්ථාව පිළිපදින්නටත් ඔවුන්ට නියම කළ යුතු ය”යි කී හ.
6ප්‍රේරිතවරයෝ ද සභා මූලිකයෝ ද මේ කාරණය ගැන කල්පනා කර බලන පිණිස රැස් වූ හ.
Responsorial Psalm
ගීතාවලිය 122: 1-2, 3-4ab, 4cd-5
1දෙව් මැදුරට යමු”යි ඔවුන් මට කී විට මම ප්‍රීතියෙන් පිනා ගියෙමි.
2එම්බා ජෙරුසලම! අපේ දෙපා තිගේ වාසල ඇතුළේ තබා තිබේ.
3එම්බා ජෙරුසලම! මැනවින් සදා නිම කළ නුවරක් මෙන් තී ගොඩනඟන ලද්දී ය.
4ඉශ්රායෙල් සෙනඟට නියම කළ ලෙස ගෝත්‍රයෝ, සමිඳුන්ගේ ගෝත්‍රයෝ, එතුමන් නමට තුති දෙන පිණිස මෙම නගරය වෙත පැමිණෙති.
5මන්ද, සිංහාසනය, එනම්, දාවිත්ගේ සිංහාසනය සෙනඟ විනිශ්චය කරන පිණිස එහි පිහිටා තිබේ.
Alleluia
ශුද්ධ වූ ජොහන් 15: 4a, 5b
4මා තුළ සිටින්න, මම ද ඔබ තුළ සිටිමි. අත්ත මිදි වැලට යා වී නැත්නම් වෙන් ව පල දරන්නට ඊට නොහැකි සේ, ඔබ මා හා ඒකාබද්ධ නොවන්නහු නම්, පල දැරීමට ඔබට නොහැකි ය.
5මිදි වැල මම ය, ඔබ අතු ය. යමෙක් මා තුළ සිටින්නේ ද, මම ඔහු තුළ සිටිම් ද, ඒ තැනැත්තේ බොහෝ පල දරයි. මන්ද, මාගෙන් වෙන් ව කිසිවක් කරන්නට ඔබට නොහැකි ය.
Gospel
ශුද්ධ වූ ජොහන් 15: 1-8
1සැබෑ මිදි වැල මම ය; මාගේ පියාණන් වහන්සේ උද්‍යාන පාලකයාණෝ ය.
2උන් වහන්සේ, මා තුළ ඇති, පල නොදරන සියලු අතු කපා හරින සේක. පල දරන සියලු අතු, වඩා පල දරන පිණිස පාහින සේක.
3මා ඔබට වදාළ දහම කරණකොටගෙන ඔබ දැනට ම පිරිසිදු ය.
4මා තුළ සිටින්න, මම ද ඔබ තුළ සිටිමි. අත්ත මිදි වැලට යා වී නැත්නම් වෙන් ව පල දරන්නට ඊට නොහැකි සේ, ඔබ මා හා ඒකාබද්ධ නොවන්නහු නම්, පල දැරීමට ඔබට නොහැකි ය.
5මිදි වැල මම ය, ඔබ අතු ය. යමෙක් මා තුළ සිටින්නේ ද, මම ඔහු තුළ සිටිම් ද, ඒ තැනැත්තේ බොහෝ පල දරයි. මන්ද, මාගෙන් වෙන් ව කිසිවක් කරන්නට ඔබට නොහැකි ය.
6යම් තැනැත්තෙක් මා තුළ නොසිටින්නේ නම් ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළී යයි. වියළි අතු එක්රැස් කොට ගින්නට දමනු ලැබේ; ඒවා දැවී යන්නේ ය.
7ඔබ මා තුළ සිටින්නහු නම්, මාගේ වචන ඔබ තුළ පවතී නම්, ඔබ කැමැති දෙයක් අයැදින්න; එය ඔබට දෙනු ලැබේ;
8මාගේ පියාණන් වහන්සේ මහිමයට පමුණුවනු ලබන්නේ, ඔබ බොහෝ සේ පල දරමින් මාගේ ශ්‍රාවකයන් වීමෙන් ය.