ජූනි 2028

බ්‍ර සි සෙ
123
45678910
11121314151617
18192021222324
252627282930
අද දිනට

කියවීම්

2028 ජූනි 1

Justin, Martyr Obligatory Memorial

දවසේ දේව මෙහෙය
First Reading

ක්‍රියා 22: 30; 23: 6-11

30පසුවදා ජුදෙව්වරුන් කුමන කාරණයක් ගැන පාවුලුට වරද තබත් දැ යි හරියාකාර දැනගන්න සේනාධිපතියා කැමැති විය. එබැවින් ඔහු පාවුලු මුදා, නායක පූජකයන් සහ මුළු මන්ත්‍රණ සභාව රැස් කරවා ඔවුන් ඉදිරියට කැඳෙව්වේ ය. 6සෙනඟගෙන් එක් කොටසක් සද්දුසිවරුන් ද අනෙක් කොටස පරිසිවරුන් ද බව පාවුලු දැක, මන්ත්‍රණ සභාවෙහි මොරගසා, ”සහෝදරයෙනි, මම පරිසියෙක්මි, පරිසිවරුන්ගේ පුත්‍රයෙක්මි. මළවුන් උත්ථාන වීමේ බලාපොරොත්තුව ගැන මම විනිශ්චයාසනය ඉදිරියෙහි සිටිමි”යි කී ය. 7ඔහු මෙසේ කී කෙණෙහි ම, පරිසිවරුන් හා සද්දුසිවරුන් අතර භේදයක් පැන නැඟුණි. රැස් ව සිටි අය දෙපිලකට බෙදුණාහ. 8මන්ද, සද්දුසිවරු පුනරුජ්ජීවනයක් වත්, දේව දූතයන් වත්, ආත්මයක් වත් නැතැ යි කී නමුත් පරිසිවරු ඒ තුන ම ඇතැ යි කී හ. 9එවිට කලබලය වඩාත් උග්‍ර විය. පරිසිවරුන්ගේ පක්ෂයේ විනයධරයන්ගෙන් සමහරෙක් නැඟිට තරයේ විරෝධය පාමින්: ”මේ මිනිසා අත කිසි නපුරක් අපට නොපෙනේ. සමහර විට ආත්මයක් හෝ දේව දුතයෙක් හෝ ඔහුට කතා කරන්නට ඇතැ”යි කී හ. 10එවිට භේදය වඩාත් වේගවත් විය. ඔවුන් පාවුලු කැබැලි කොට ඉරාදමනු ඇතැ යි සේනාධිපතියා බිය වී, හේවායන්ට කතා කොට, ඔවුන් වෙතින් ඔහු පැහැර ගෙන බලකොටුවට ගෙන යාමට අණ කෙළේ ය. 11එදා රාත්‍රියේ සමිඳාණන් වහන්සේ පාවුලු ළඟ සිට, ”ධෛර්යවත් වෙන්න ඔබ ජෙරුසලමේ දී මා ගැන සාක්ෂි දුන් සේ ම, රෝමයේ දීත් සාක්ෂි දිය යුතු ය”යි වදාළ සේක.
Responsorial Psalm

ගීතාවලිය 16: 1-2a and 5, 7-8, 9-10, 11

1දෙවිඳුනි, මම ඔබ සරණකොට ගතිමි. එබැවින් මා රැකගත මැනව. 2මම මෙසේ කීමි: ”සමිඳුනි, ඔබ මාගේ සමිඳාණන් වහන්සේ ය, මාගේ සව් සම්පත ය. ඔබ හැර අන්කිසි සෙතක් මට නැත්තේ ය.” 5සමිඳුනි, මාගේ උරුමය හා ඉරණම ඔබ වහන්සේ ය. ඔබ, ඔබ පමණක් ම මා උරුම කොටස රක්නා සේක. 7මට උවදෙස් දෙන හිමි තුමන් හට තුති කරන්නෙමි. රෑ යාම්වල දී මා සිත්සතන්හි නුවණ පහළ වන්නේ ය. 8හිමි තුමන් නිරතුරු මා අබියස තබාගන්නෙමි. මා දකුණු පස එතුමාණන් වැඩ වසන බැවින් මම නොසැලෙන්නෙමි. 9එබැවින් මසිත උදන් අනයි; මහද ප්‍රීතියෙන් පිනා යන්නේ ය; මා ගත සුරැකි ව ඇත්තේ ය. 10මන්ද, ඔබ මා පාතාලයෙහි නොරඳවන සේක; ඔබේ දැහැමි තැනැත්තාට ජරාපත් වීමට ඉඩ නොදෙන සේක. 11ඔබ මට ජීවන මඟ හෙළි කරන සේක. ඔබ අබිමුවෙහි පිරිපුන් සතුට මට වන්නේ ය. ඔබ දකුණු පස සැප සම්පත් සදහට ම ඇත්තේ ය.
Alleluia

ශුද්ධ වූ ජොහන් 17: 21

21පියාණෙනි, මා මෙසේ යාච්ඤා කරන්නේ ඔබ මා තුළ ද මා ඔබ තුළ ද සිටින්නාක් මෙන්, ඔවුන් ද අප තුළ ඒකත්වයක් වන පිණිසත්, ඔබ මා එවා වදාළ බව ලෝකයා විශ්වාස කරන පිණිසත් ය.
Gospel

ශුද්ධ වූ ජොහන් 17: 20-26

20මොවුන් ගැන පමණක් නොව, මොවුන්ගේ වචනය කරණකොටගෙන මා අදහාගන්නා අය ගැනත් යාච්ඤා කරමි. 21පියාණෙනි, මා මෙසේ යාච්ඤා කරන්නේ ඔබ මා තුළ ද මා ඔබ තුළ ද සිටින්නාක් මෙන්, ඔවුන් ද අප තුළ ඒකත්වයක් වන පිණිසත්, ඔබ මා එවා වදාළ බව ලෝකයා විශ්වාස කරන පිණිසත් ය. 22අප ඒකත්වයක් ව සිටින්නා සේ ම, ඔවුනුත් ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් තේජශ්‍රීය මම ඔවුන්ට දුනිමි. 23මෙසේ කෙළේ, මා ඔවුන් තුළ ද ඔබ මා තුළ ද සිටීමෙන්, ඔවුන් සම්පූර්ණ ලෙස ඒකත්වයට පැමිණෙන පිණිසත්, ඔබ මා එවා වදාළ බව ද, ඔබ මට ප්‍රේම කළාක් මෙන් ඔවුන්ටත් ප්‍රේම කළ බව ද ලෝකයා දැනගන්නා පිණිසත් ය. 24පියාණෙනි, ලෝකය මැවීමට පෙර ඔබ මට ප්‍රේම කළ නිසා මට පැවරූ තේජශ්‍රීය, ඔබ මට දුන් අය විසින් දකින පිණිස, මා සිටින තැන ඔවුනුත් සිටිනවාට කැමැත්තෙමි. 25ධාර්මික පියාණෙනි, ලෝකයා ඔබ දැනගත්තේ නැත. එහෙත් මම ඔබ දැනගතිමි. තවද, ඔබ මා එවා වදාළ බව මොවුහු දනිති. 26ඔබ මට දැක් වූ ප්‍රේමය ඔවුන් තුළ වන පිණිසත්, මා ද ඔවුන් තුළ වන පිණිසත්, ඔබගේ නාමය ඔවුන්ට දන්වා වදාළෙමි. තවත් දන්වා වදාරන්නෙමි.”