මැයි 2028

බ්‍ර සි සෙ
123456
78910111213
14151617181920
21222324252627
28293031
අද දිනට

කියවීම්

2028 මැයි 28

Ascension of the Lord Solemnity (Seventh Sunday of Easter)

දවසේ දේව මෙහෙය
First Reading

ක්‍රියා 1: 1-11

1තියෝපිලස් තුමෙනි, ජේසුස් වහන්සේ කළා වූ ද ඉගැන්නුවා වූ ද සියලු දේ, 2උන් වහන්සේ තෝරාගත් ප්‍රේරිතවරුන්ට ශුද්ධාත්මයාණන් කරණකොටගෙන අණ දී උන් වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබූ දවස දක්වා මාගේ ප්‍රථම කෘතියෙහි මම විස්තර කෙළෙමි. 3උන් වහන්සේගේ මරණයෙන් පසු, සතළිස් දවසක් අතරතුර ඔවුන්ට දර්ශනය වෙමින් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන දේශනා කරමින් ද බොහෝ නිසැක සාක්ෂිවලින් උන් වහන්සේ ජීවමාන ව ප්‍රකාශ වූ සේක. 4උන් වහන්සේ ඔවුන් සමඟ ආහාර වළඳමින් සිටිය දී ඔවුන් අමතා, ”ඔබ ජෙරුසලමෙන් ඉවත් ව නොගොස්, මා වදාළ පරිදි පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුවෙන් සිටින්න. 5මන්ද, ජොහන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනය a කෙළේ ය; එහෙත් මින් නොබෝ දවසකින් ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම-ස්නාපනය කරනු ලබන්නහු ය”යි වදාළ සේක. 6ප්‍රේරිතවරුන් එක්රැස් වූ කල, ”ස්වාමීනි, ඔබ යළිත් ඉශ්රායෙල් රාජ්‍යය පිහිටුවන කාලය මෙය දැ”යි ඔව්හු උන් වහන්සේගෙන් ඇසූ හ. 7උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”පියාණන් වහන්සේ ස්වකීය ආධිපත්‍යයෙන් නියම කළ කාලයන් ද, අවස්ථාවන් ද දැන ගැනීම ඔබට අයිති කාරියක් නොවේ. 8එහෙත්, ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල, ඔබ බලය ලබන්නහු ය. එවිට ඔබ ජෙරුසලමෙහි ද මුළු ජුදයෙහි හා සමාරියෙහි ද පොළොවේ සීමාන්තයන් දක්වා ද මාගේ සාක්ෂි කාරයෝ වන්නහු ය”යි වදාළ සේක. 9උන් වහන්සේ මෙසේ වදාරා ඔවුන් බලා සිටිය දී ම ඔසවාගනු ලැබ, වලාකුළකින් වැසී ඔවුන්ට නොපෙනී ගිය සේක. 10උන් වහන්සේ යන කල, ඔවුන් අහස දෙස බලාගෙන සිටිය දී, සුදුවතින් සැරසුණු මනුෂ්‍යයෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිට, 11ගලීලයේ වැසියෙනි, ඔබ අහස දෙස බලාගෙන සිටින්නේ කුමට ද? ඔබ කෙරෙන් ඔසවාගනු ලැබූ මෙම ජේසුස් වහන්සේ ස්වර්ගයට නඟිනු දුටු සේ ම, ආපසු වඩිනු ඇතැ”යි කී හ.
Responsorial Psalm

ගීතාවලිය 47: 2-3, 6-7, 8-9

2අති උතුම් සමිඳාණෝ බියකරු ය, මුළු මහ පොළොව කෙරේ අග රජ ය. 3එතුමාණෝ ජාතීන් පරදා අපට ජය දුන් සේක; සව් සත කෙරේ අග රජ වන සේක. 6දෙවි තුමන් හට ගී පසස් නඟන්න. ගී පසස් නඟන්න. අපේ නිරිඳු හට ගී පසස් නඟන්න; ගී පසස් නඟන්න. 7දෙවිඳාණෝ මුළු දෙරණට නිරිඳාණෝ ය. එතුමන් හට ගී පැසසුම් ගයන්න. 8දෙවිඳාණෝ ජාතීන් අතර රජිඳාණෝ ය; එතුමාණෝ සුවිශුද්ධ සිහසුන් අරා වැඩ සිටින සේක. 9ජාතීන්ගේ අධිපතීහු, ආබ්‍රහම්ගේ වංශයට අයත් දේව සෙනඟ සමඟ එක් රැස් වන්නෝ ය. පොළොවේ බලවත් ජාතීහු දෙවි තුමන්ට අයිති ය; එතුමාණෝ උන් හැම කෙරේ රජකම් කරන සේක.
Second Reading

එපීස 1: 17-23 or Hebrews 9: 24-28; 10: 19-23

17තේජසේ පියාණන් වූ, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දෙවියන් වහන්සේ, උන් වහන්සේ අවබෝධ කරගැනීම පිණිස, ප්‍රඥාව හා විදර්ශන ශක්තිය ඔබට දෙන මෙන් මම යාච්ඤා කරමි. 18තවද, උන් වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක් ද කියාත්, සැදැහැවතුන්ට හිමි වන තේජාන්විත උරුමයේ ධන සම්භාරය කිමෙක් ද කියාත්, 19ඇදහිලිවන්තයන් වන අප තුළ ක්‍රියා කරන, උන් වහන්සේගේ බලපරාක්‍රමයේ උදාරබව කිමෙක් ද කියාත්, ඔබ දැන ගන්නා පිණිස ඔබේ මනස පැහැදෙනසේ මම යාච්ඤා කරමි. 20දෙවියන් වහන්සේගේ ඒ වික්‍රමාන්විත බලපරාක්‍රමය නම්, උන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ මරණයෙන් උත්ථාන කර, ස්වර්ග ලෝකයෙහි ස්වකීය දකුණු පස සිංහාසනාරූඪ කිරීමෙන්, ක්‍රිස්තුන් වහන්සේ තුළ උන් වහන්සේ ඉටු කළ ක්‍රියාකාරී බලය ම ය. 21එම ක්‍රිස්තුන් වහන්සේ සියලු අධිපතීන්ටත්, බලධාරීන්ටත්, පරාක්‍රමවලටත්, අධිකාරීන්ටත්, එසේ ම, මේ යුගයේ පමණක් නොව, මතු පැමිණෙන යුගයෙහි ද, නම් කළ හැකි තාක් සියලු ප්‍රභූ නාමයන්ටත් ඉහළින් වැජඹෙන සේක. 22දෙවියන් වහන්සේ සියලු දේ ක්‍රිස්තුන් වහන්සේගේ පාදවලට යටත් කර, උන් වහන්සේ සභාවේ මහේශාක්‍ය නායකයාණන් කොට පත් කළ සේක. 23සභාව උන් වහන්සේගේ ශරීරය ය. ශරීරය එහි හිස වන, සියල්ල බද්ධ කරන, ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධ වූ විට, එක ම සර්ව සම්පූර්ණත්වයක් ඇති වේ.
Alleluia

ශුද්ධ වූ මතෙව් 28: 19a, 20b

19එබැවින් ඔබ ගොස්, සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න; පියාණන්ගේ ද පුත්‍රයාණන්ගේ ද ශුද්ධාත්මයාණන්ගේ ද නාමයෙන් ඔවුන් බව්තීස්ම-ස්නාපනය කරන්න; 20මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.
Gospel

ශුද්ධ වූ ලූක් 24: 46-53

46මෙ‍සේ ක්‍රිස්තුන් වහන්සේ වද විඳින්ටත් තුන් වන දා මළවුන්ගෙන් නැඟිටින්ටත්, 47ජෙරුසලමෙන් පටන්ගෙන සකල ලෝකවාසීන්ට පසුතැවී සිත් හරවා ගැනීම ද පව් කමාව ද, උන් වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනු ලබන්නට ද යුතු ම යයි ලියා ඇත. 48ඔබ මේ දේවලට සාක්ෂිකාරයෝ වන්නහු ය. 49බලන්න, මම මාගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව ඔබ වෙත ගෙනෙමි. එහෙත්, ඉහළින් වන බලපරාක්‍රමයෙන් ඔබ හැම සන්නද්ධ කරනු ලබන තුරු නගරයෙහි නැවතී සිටින්නැ”යි වදාළ සේක. 50උන් වහන්සේ බෙතානිය දක්වා, ඔවුන් කැඳවාගෙන ගොස්, තමන්ගේ අත් ඔසවා ඔවුන්ට ආශීර්වාද කළ සේක. 51එසේ ආශීර්වාද කරද්දී ම, උන් වහන්සේ ඔවුන් කෙරෙන් වෙන් ව, ස්වර්ගයට ඔසවාගනු ලැබූ සේක. 52ඔව්හු උන් වහන්සේට නමස්කාර කොට, ඉමහත් ප්‍රීතියකින් ජෙරුසලමට හැරී අවුත්, 53නිරතුරු දේව මාලිගාවෙහි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් කල් ගත කළහ.