කියවීම්
2028 ජූලි 1
Ordinary Weekday/ Optional Memorial of the Blessed Virgin Mary/ Blessed Junipero Serra, Priest, Religious, Missionary
Blessed Junipero Serra, Priest, Religious, Missionary
First Reading
විලාප ගී 2: 2, 10-14, 18-19
2සමිඳාණෝ කිසි අනුකම්පාවක් නැති ව, ජාකොබ්ගේ සියලු නිවෙස් විනාශ කළ සේක. එතුමාණෝ සිය කෝපයෙන් ජුදා රටේ බලකොටු බිඳ හෙඵෑ සේක. ඒවා බිමට ම දැමූ සේක. එතුමාණෝ රාජ්‍යය පිට ද එහි අධිපතීන් පිට ද නින්දාව පැමිණෙවු සේක.
10සියොන් පුරඟනගේ මහලු අය හිඳගෙන නිශ්ශබ්ද ව සිටිති. ඔව්හු තමන්ගේ හිස් පිට ධූලි දමාගෙන, ගෝණි රෙදි ඇඳගෙන සිටිති. ජෙරුසලමේ කන්‍යාවෝ තමන්ගේ හිස බිමට නමාගෙන හිඳිති.
11මාගේ සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස්, කඳුළු වැගිරීමෙන් වෙහෙසට ද, ළමයින් ද කිරි දරුවන් ද නුවර වීදිවල ක්ලාන්ත වන බැවින් මාගේ සිත ශෝකයෙන් ඇලළී ගොස් ඇත.
12තුවාළ වූවන් මෙන් නුවර වීදිවල ඔවුන් ක්ලාන්ත වන විට, තමන්ගේ මවුවරුන්ගේ ළයෙහි පණ අදින විට, ‘ධාන්‍ය සහ මිදියුස කොයි දැ’යි ඔව්හු තම මවුවරුන්ගෙන් කෑගසා අසති.
13ජෙරුසලම් පුරඟන, මම ඔබට කුමක් කියම් ද? ඔබ කුමකට සමාන කරම් ද? අනේ සියොන් කන්‍යා පුරඟන, මම ඔබ සනසන පිණිස ඔබට කුමක් කරම් ද? ඔබේ විපත මුහුද මෙන් විශාල ය; ඔබට සුවය දෙන්නේ කවරෙක් ද?
14ඔබේ දිවැසිවරු බොරු නිෂ්ඵල දර්ශන ඔබට දැක්වූ හ; ඔව්හු ඔබේ වහල්කම පහ කිරීමට ඔබේ අපරාධ කිසි දා එළිදරව් නොකළහ. ඔබ උදෙසා ඔවුන් දුටු දර්ශන බොරු ය, රැවටිලි සහිත ය, වංචනික ය.
18අනේ සියොන් පුරඟන, සමිඳුන්ට මොරගසන්න; මහා ප්‍රවාහයක් සේ රෑ දාවල් දෙක්හි කඳුළු ගලා යා වා! ඔබට කිසි සහනයක් නොලැබේ වා! ඔබේ දෙනෙතට විවේකයක් නො වේ වා!
19රෑ යාම්වල නැඟිට උදේ අලුයම ඝෝෂා කරන්න. ඔබේ සිත සමිඳුන් ඉදිරිපිට ජලය මෙන් වගුරුවන්න. සියලු වීදි සන්ධිවල දී බඩගින්නෙන් ක්ලාන්ත වන ඔබේ ළමයින්ගේ ප්‍රාණ උදෙසා ඔබේ අත් එතුමාණන් දෙසට ඔසවන්න.
Responsorial Psalm
ගීතාවලිය 74: 1b-2, 3-5, 6-7, 20-21
1අහෝ දෙවිඳුනි! ඔබ සදහට ම අප අත්හරින්නේ මන් ද? ඔබේ තණ බිම්හි බැටළුවන්ට විරුද්ධ ව ඔබේ උදහස නඟින්නේ මන් ද?
2පෙර කල ඔබට ම තෝරාගත්, උරුම වංශය කරගන්න පිණිස වහල්කමින් මුදාගත්, ඔබේ සෙනඟ සිහි කළ මැනව. ඔබේ නිවාසය වූ සියොන් කන්ද සිහි කළ මැනව.
3නිමක් නැති මේ නටබුන් ගොඩ මතු පිටින් දෙ පා නැඟුව මැනව. අපේ සතුරා ඔබේ ශුද්ධස්ථානයේ සියල්ල වනසා ඇත්තේ ය.
4ඔබේ සෙනඟ මැද එදිරිකාරයෝ බෙරිහන් දුන්නෝ ය. ඔව්හු තම ජය කෙහෙලි එහි නැංවූ හ.
5ඔව්හු ඉහළ දොරටුවේ කැටයම් වැඩ පොරෝවලින් කපා සුණු විසුණු කළහ.
6එහි පනේල සියල්ල ම ඔව්හු බිඳදැමූ හ. කැත්තෙන් සහ මිටියෙන් ඒවාට පහර දුන්නෝ ය.
7ඔව්හු ඔබේ ශුද්ධස්ථානය ගිනිබත් කළෝ ය. ඔව්හු ඔබේ නාමයට කැප වූ වාසභවනය කෙලෙසා බිමට සමතලා කළෝ ය.
20ඔබ අප සමඟ කළ ගිවිසුම සිහිකළ මැනව. මන්ද, රටේ සෑම අඳුරු මුල්ලක් ම සැහැසිකමින් පිරී ඇත.
21පීඩිත වූවන්ට ලජ්ජාවෙන් පසු බැසීමට ඉඩ නුදුන මැනව. දුගීන් හට සහ දිළිඳුන් හට ඔබේ නාමය පැසසීමට ඉඩ සැලසුව මැනව.
Alleluia
ශුද්ධ වූ මතෙව් 8: 17
17මෙසේ වූයේ: ”උන් වහන්සේ ම අපේ දුබලකම් දරා ගත් සේක; අපේ රෝ දුක් බර උසුලාගත් සේකැ”යි යෙසායා දිවැසිවරයා විසින් කියන ලද කීම ඉටු වන පිණිස ය.
Gospel
ශුද්ධ වූ මතෙව් 8: 5-17
5උන් වහන්සේ කපර්ණවුමට ඇතුළු වූ කල එක් ශතාධිපතියෙක් උන් වහන්සේ වෙත අවුත්, කන්නලවු කරමින්,
6ස්වාමීනි, මාගේ මෙහෙකරුවා අංසබාග රෝගයෙන් දැඩි වේදනා විඳිමින් ගෙයි ඔත්පළ ව සිටී ය”යි කී ය.
7මම අවුත් ඔහු සුව කරමි”යි උන් වහන්සේ ඔහුට වදාළ සේක.
8ශතාධිපතියා උත්තර දෙමින්, ”ස්වාමීනි, ඔබ මාගේ නිවසට පැමිණීමට තරම් මම නොවටිමි. වචන මාත්‍රයක් පැවසුව මැනව. එවිට මාගේ මෙහෙකරුවා සුව වනු ඇත.
9මන්ද, මම ද බලය ලත් අය යටතේ සිටින මිනිසෙක්මි. මා යටතේ ද හේවායෝ සිටිති. මා කෙනෙකුට, ‘යන්නැ’යි කී කල, ඔහු යන්නේ ය; කෙනෙකුට, ‘එන්නැ’යි කී කල, ඔහු එන්නේ ය. මාගේ දාසයාට, ‘මෙය කරන්නැ’යි කී කල ඔහු එය කරන්නේ ය”යි කීවේ ය.
10ජේසුස් වහන්සේ ඒ අසා විස්මිත ව තමා පසුපස්සේ ආ අයට කතා කොට, ”සැබැවින් ම මම ඔබට කියමි, එක ම ඉශ්රායෙල් මිනිසෙකු තුළ වත් මෙතරම් මහත් ඇදහිල්ලක් මම නුදුටිමි.
11තවද, ඔබට කියමි, පෙර අපර දෙදිගින් බොහෝ දෙනෙක් අවුත්, ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සමඟ ස්වර්ග රාජ්‍යයෙහි අසුන් ගන්නෝ ය.
12එහෙත්, රාජ්‍යයට හිමිකම් ඇත්තෝ පිටත අන්ධකාරයෙහි හෙළනු ලබන්නෝ ය. එහි හැඬීම ද දත්මිටි කෑම ද වන්නේ ය”යි වදාළ සේක.
13ජේසුස් වහන්සේ ශතාධිපතියාට කතා කොට, ”යන්න, ඔබ අදහාගත් ලෙස ම ඔබට වේ වා”යි වදාළ සේක. ඒ මොහොතේ දී ම මෙහෙකරුවා සුවපත් විය.
14ජේසුස් වහන්සේ පේදුරුගේ ගෙට ඇතුළු වූ කල ඔහුගේ බිරිඳගේ මව උණ රෝගයෙන් ඔත්පල ව සිටිනු දැක,
15ඇගේ අත ඇල්ලූ සේක. එවිට උණ බැස ගියේ ය. ඈ නැඟිට උන් වහන්සේට උපස්ථාන කළා ය.
16සවස් වූ කල දුෂ්ටාත්මාවේශ වූ බොහෝ දෙනෙක් උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දෝ ය. උන් වහන්සේ වචන මාත්‍රයකින් අශුද්ධාත්මයන් දුරු කළ සේක; රෝගාතුර වූ සියල්ලන් සුවපත් කළ සේක.
17මෙසේ වූයේ: ”උන් වහන්සේ ම අපේ දුබලකම් දරා ගත් සේක; අපේ රෝ දුක් බර උසුලාගත් සේකැ”යි යෙසායා දිවැසිවරයා විසින් කියන ලද කීම ඉටු වන පිණිස ය.